brand logo

හිතේ දුකට බුලත්විටක් හපමු මස්සිනා

06 October 2019

සතිපොළේ ගමේ කඩපිලේ මෙන්ම නගරයේ වෙළෙඳසල් දක්වාම බුලත් පුවක් වෙළෙඳාම යහමින් සිදුවන්නකි. ගම්බැද්දේ සිට බුලත් පුවක් මෙන්ම දුම්කොළ වගාකොට දිවි සරුකර ගන්නා පිරිස් අප රටේ අඩු නැත. ගමේ කඩමණ්ඩිවලත්, විසල් ව්‍යාපාර ඇති නගර මධ්‍යයේත් මහමග බුලත්විට වෙළෙඳාමේ නියැළෙන්නන්ද බොහෝය. හෙළ සිරිතට විරිතට අනුව ගත්තද බත  බුලත අපට සමීපය. ඇතැමෙකුට බතේ සංග්‍රහය සම්පූර්ණ වන්නේ බුලත්විටක් සැපූ විටය. සිංහල ජන සංස්කෘතිය තුළ බුලතට හිමි තැන එසේ වුවත්, බුලත් විටෙන් ජීවිතය ඉල්ලන මැදිවියේ මිනිසුන්ට නම් තම ජීවිකාව දුක් ගොඩකි. බුලත්විට පමණක් නොව බුලත් පුවක්, හුනු, දුම්කොළ විකුණන හැම කෙනෙකුගේම වාගේ කතාව දුක්බරය. ඒ දුක කොතරම් වුවද ඔවුන්ට දුක බෙදා ගැනීමටද ඇත්තේ බුලත් කොළයයි. අනුරාධපුර, තලාව, මොරගොඩ පදිංචි කේ.පී. විජේරත්න මහතා කලක පටන් බුලත් වෙළෙඳාමේ නියැළෙන්නෙකි. ඔහුගේ මුහුණේ වූයේ සිනහවක් නමුදු කතාව දුක්බරය. ‘‘අපි පුවක් ගෙඩියක් ගන්නේ රුපියල් හයකට. බුලත් කොළයක් රුපියල් තුනයි ශත පනහයි. පොඩි හුනු පැකට් එකක් ගන්නේ රුපියල් පහළොවකට. මේ හැමදේම එක්ක තමයි අපි බුලත්විටක් රුපියල් තිස්පහකට විකුණන්නේ. මේ අඩුම කුඩුම ටික ගන්න දවසට රුපියල් දාහක් විතර වියදම යනවා. ඔක්කොම වියදම් ඇරලා බලද්දී දවසකට රුපියල් හාරසියයක් වගේ මුදලක් තමයි අතට එන්නේ. අපේ වයසත් එක්ක අපට වෙන රස්සාවක් කරන්න කාලයක් නැහැ. ඇගේ පතේ හයියකුත් නැහැ. දැන් අපේ ජීවිත ගතවෙලා ඉවරයි. දරුවන්ට බරක් වෙන්න බෑ. ඒකයි මේ රස්සාව තාම කරන්නේ. මේ බුලත් විටත් සමග හැප්පෙන ජීවිතවල ඇත්ත කතාවය. ගමේ ගොඩේ නම් බුලත්විටක් නොකන අයකු නැති තරම්ය. ඇතැමෙකු කියන්නේ අවමංගල්‍ය නිවසක ආදාහන කටයුතුවලින් ආපසු හැරී බලද්දී ගිය ඉහළම වියහියදම් අතරට බුලත්විටද එක්වේ. ඒ පුරුද්දක් ලෙස බුලත්විටක් නොකන කෙනාද අවමංගල්‍ය නිවසකදී එම අවස්ථාව මගනොහරින බැවිනි. මේ මැද බුලත්විටේ මිල ගැනද වැඩිපුර කතාබහට ලක්වන බව ඇත්තකි. බුලත් පුවක් සමග ජීවිත ගෙවන අනුරාධපුර කඩ දොළහේ කේ.ටී. ගුණසිරි මහතා ද අපේ කතාබහට එක්විය. “අවුරුදු තිස්පහක් විතර තිස්සේ මං මේ රස්සාව කරන්නේ. අපි දරුවෝ ලොකු මහත් කෙරුවෙත් මේ රස්සාව කරලා. දරුවෝ කසාද බැඳලා ඉන්නේ. කොච්චර අමාරු වුණත් දරුවන්ට කරදර කරන්න මං කැමැති නෑ. පුරුද්දක් හැටියට විට කන කට්ටියක් ඉන්නවා. ඒ ගොල්ලෝ මේ  අහල පහල ඔපිස්වල එහෙම වැඩ කරන අය. ඒ ගොල්ලෝ දවල් කෑම වෙලාවට එහෙට එනවා. ඒ අය නිසා අපිත් කීයක් හරි හොයාගෙන ජීවත් වෙනවා. මොනවා වුණත් අපි වගේ රස්සා කරන අය විඳින දුක කාටවත්ම පේන්නෑ. තවමත් සමහරු බුලත් විටක් ඉල්ලන්නේ රුපියල් දහයට පහළොවට. කීදෙනෙක් ඉන්නවද මේ විදිහට පාරේ බැහැලා වෙළෙඳාම් කරන අය. කවුද ඒ අය ගැන අනුකම්පා කරන්නේ. අපහාස කරනවා මිසක්. එක එක නීති ගෙනැල්ලා හිර කරන්ඩ හදනවා. ඒත් මේක තමයි අපේ ජීවිතේ. ඒ ගැන කම්පාවක් නෑ.” කොහේ හෝ ගස් හෙවණක, කඩ පිලක, කුඩ හෙවණකට වී බුලත් විට වෙළෙදාමේ නියැළෙන බොහෝ දෙනෙකු මේ ජීවිත සටනට පිවිස ඇත්තේ හොඳ තරුණ අවදියේදීය. “නිමල් කරුණාතිලක” මහතා ද එවැන්නෙකි. 1978 වර්ෂයේ දිනකදී ඔහු අනුරාධපුර නගරයට පැමිණ ඇත්තේ ජීවනෝපාය සඳහා බුලත් විට වෙළෙදාමේ යෙදීම සඳහාය. එදා සිට ගෙවීයන මේ මොහොත දක්වාම සිනහ කඳුළු පිරි ජීවිත ගමන බුලත්, පුවක්, හුනු, දුම්කොළ අතර ගෙවා දැමු ඔහු අද ද ඉන් බැහැරව නැත්තේ දෛවය එලෙසම ලියැවී ඇති නිසාවෙනි. කලබැගෑනි සපිරි නගරයේ රුක් හෙවණකට වී බුලත් විටට අඩුම කුඩුම සකසුරුවමට සකසන නිමල් මහතාගේ දෙනෙත සැඳෑ සමයේ දුක්ඛ දෝමනස්ස හමුවේ බොඳවී ඇත. “මට දැන් අවුරුදු 75 ක් වෙනවා. දැන් අවුරුදු 40 ක්  විතර කෙරුවේ බුලත් විට විකුණපු එක. දරුවෝ ලොකු මහත් කෙරුවේ මේ රස්සාවෙන්. 1978 අවුරුද්දේ තමයි බුලත් විට වෙළෙඳාම කරන්න පටන් ගත්තේ. එදා ඉඳලා අද වෙනකන්ම රස්සාව කරනවා. ඒ කාලේ රුපියල් දෙකකට තමයි අපි බුලත් විට වික්කේ. දැන් රුපියල් 35 කට තමයි විකුණන්නේ. මට මතකයි අපි දෙතුන් දෙනෙක් තමයි ඒ කාලේ මුළු අනුරාධපුරේටම බුලත් විට විකුණන්න හිටියේ. දැන් නම් දහපහළොස් දෙනෙක් ඉන්නවා. ඒ කාලේ ටවුන් එක මේ තරම් දියුණුවක් නෑ. හැබැයි මෙයිට වැඩිය බුලත්විට විකුණුනා. අඩුම ගානේ දවසකට බුලත් විට සීයක් විතර වික්කා. දැන් දවසකට විට හතළිහක් පනහක් තමයි විකිණෙන්නේ. ඒකත් හැමදාම නෑ. සමහරදාට විට විස්සක්වත් විකිණෙන් නැති දවස් තියෙනවා. එතකොට මේ වෙළෙදාම මොකටද කියලා හිතෙනවා. ගිරිදා, නාගවල්ලි, ගැටතවාල, දලු බුලත්, කොවුල් බුලත්, මල් බුලත් යනාදී වශයෙන් බුලත් වර්ග රැසකි. හෙල ඉතිහාසයට අනුව මහ වාසල බෙහෙත් ගෙයි මුහන්දරම් නමින් පත්වී සිටි නිලධරයා සතු රාජකාරි රාශියෙන් එකක් ලෙස දිනපතා රජ මාලිගයට බුලත් සැපයීම නියමව තිබූ බව සඳහන් වෙයි. ලාංකීය ජන සමාජයීය ඉතිහාසය කොතරම් ඈතට දිව යන්නේ ද එපමණටම පැරණි යටගියාවක් බුලත් හා සම්බන්ධව ඇත. සිංහලයාගේ ආර්ථික සමෘද්ධිය මූර්තිමත් කරන්නක් ලෙසත්, සාමයේ හා සහෝදරත්වයේ සංකේතයක් වශයෙනුත් බුලත් උසස් තැනක වැජඹෙන්නේ අද ඊයේ සිට නොවේ.  බුලත්, පුවක් සපිරි දැහැත් වට්ටියක් භික්ෂුන් වහන්සේ උදෙසා සිරිත් සාම්ප්‍රදානුකුලව පිරිනැමීම අද ද සිදුවන්නකි. බුලත් සමග බුලත් විට ද අවියෝජනීයව එකිනෙක ඈඳී ඇත්තේ එවක පටන්ය. වසර තිහක පමණ කාලයක සිට බුලත් විටට මුහුවන දුම්කොළ වෙළෙදාමේ නියුතු රාජාංගණය ජනපදයේ “ඊ.එම්.බී. ගාමිණි” පැවසුයේ මෙවැනි දෙයකි. “දන්න කියන දවසේ ඉඳලා කරන්නේ මේ රස්සාව. දරුවෝ ජීවත් කරවන්නේ මේ හොයාගන්න කීයෙන් හරි. දුම්කොළවලට ඒ කාලේ ඉඳන්ම තියෙන ඉල්ලුම තාමත් අඩුවෙලා නෑ. බුලත් විට කන මිනිස්සු සතියකට හමාරකට සැරයක් අපෙන් දුම්කොළ අරන් යනවා. විට විකුණන කට්ටිය අපෙන් දුම්කොළ ගන්නවා. දැන් අපි මේ රස්සාවට හුරුවෙලා ඉන්නේ. මේක අතඇරලා වෙන ජීවත් වෙන්ඩ මාර්ගයක් නෑ. එකපාරක් දුම්කොළ එක්ක බුලත් විට විකුණන එක තහනම් කෙරුවා ගහෙන් ගෙඩි එනවා වගේ. අවසානේ කොහොම හරි ඒ තහනම අයින් කෙරුවා. බැරි වෙලාවත් ඒ තහනම ඒ විදිහටම තිබ්බ නම් අපි වගේ පොඩි වෙළෙන්දෝ කී දාහක් නම් මහ පාරට වැටෙයිද.” ජීවිත ගමනේ කටුක බව මේ හැම දෙනෙතකම ලියැවී තිබේ. කාෂ්ටක අව්වේ කඩිමුඩියේ ඔබ මොබ යන අතෝරක් සෙනග වෙත ඔවුහු බලාපොරොත්තුවේ දෑස් දල්වති. විටෙක ඒ අපේක්ෂා ඵලදරයි. විටෙක නොපෙනෙන කඳුළක බොඳව යයි.  මේ වියපත් මිනිසුන් බොහෝ දෙනෙකුගේ මනසේ කැකෑරෙන අතීත මතකයන් සමහරක් මගින් ඔවුන් යම් සැනසුමක් ලබන සෙයකි. වසර හතළිහක් මුළුල්ලේ පොළෙන් පොළට ගොස් බුලත්, පුවක් වෙළෙඳාමේ නියුතුව ඇති තඹුත්තේගම “ඒ.ආර්. ටිකිරි බණ්ඩා” මහතාට ද අතීත මතකයන් මහාමෙරකි. “ඒ කාලේ පොළට එන හැම මනුස්සයෙක්ම වගේ බුලත්, පුවක්, හුනු, දුම්කොළ ටිකක් ගත්තා. එකෙන් අපිත් ජීවත් වුණා. අපි කවුරුවත් මහලොකු දේවල් බලාපොරොත්තු වුණේ නෑ. ඒ හින්දමද මන්දා මහ ලොකුවට ප්‍රශ්න තිබුණෙත් නෑ. ගහමරා ගත්තෙත් නෑ. දැන් කොතන බැලුවත් ප්‍රශ්න. ඉස්සර අනිවාර්යෙන්ම ගෙදරට එන මනුස්සයෙකුට කෑවත් නැතත් බුලත් හෙප්පුව දුන්නා බුලත් විටක් කන්න. දැන් ඒ සිරිත් මොකුත් නෑ.’’ මේ අතරම හපන දුම්කොළ හෙවත් දුම් රහිත දුම්කොළ සහ පුවක් අඩංගු බුලත් විට හා සෙසු නිෂ්පාදන නිසා ඇතිවන මුඛ පිළිකා හේතුවෙන් ලංකාවේ දිනකට පුද්ගලයන් හතරදෙනෙකු මියයන බවත්, පිරිමින්ට වැලඳෙන පිළිකා අතරින් ප්‍රමුඛ වන්නේ මුඛ පිළිකා බවත්, මුඛ පිළිකා වැලඳුනු අයගෙන් 85%ක් දෙනා බුලත් විට කන අය බවත් වෛද්‍ය විශේෂඥයන් කහවුරු කරති. දුම් රහිත දුම්කොළ හා සම්බන්ධ පිළිකා හේතුවෙන් වසරකට මෙරට සිදුවන මරණ සංඛ්‍යාව දහසකට අධික බවත්, රෝගීන් වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 05ක පමණ වැය බරක් රජයට දැරීමට සිදුව ඇති බවත් ඒ අතරම පෙන්වා දෙති. රජයේ ආයතනවල සේවයේ නියුතුවූවන්ට රාජකාරි වේලාව තුළ බුලත්විට කෑම තහනම් කිරීමටද මෑතකදී රජය අණ පනත් ගෙන එන්නට වෑයම් කළේය. වසරකට හමාරකට පෙරාතුව දුම්කොළ සමග බුලත්විට විකිණීම තහනම් කිරීමට නියෝග පැනවූවේය. එහෙත් ඒ සියල්ලක් උඩු සුළඟේ ගසා ගියාක් මෙන් වී තිබේ. කෙසේ වී නමුදු  මේ විවිධ මතවාද  මැද අනාදිමත් කාලයක පටන් මෙරට සාම්ප්‍රදායික ජන සමාජයේ මිනිස්කමේ සංකේතයක් ලෙසද සැලකූ  බුලත්විට සඳහා ඇති පිළිගැනීම තව කොපමණ කලක් එලෙසම පවතිනු ඇතිද යන්න කිව නොහැකිය. ප්‍රදීප් රණතුංග - තඹුත්තේගම
 

More News..