brand logo

හිටපු DIG නාලකගේ බොරුව අතේ පත්තුවෙයි

08 June 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන්නට කණ්ඩායම් මෙහෙය වූ සහරාන් ගැන මුලින්ම සොයාගෙන විමර්ශන ඇරඹූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ මුස්ලිම් අන්තවාදය හා මූලධර්මවාදී ඒකකයේ ස්ථානාධිපතිව විමර්ශන අතරමැද නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා විසින් මාරුකර ඇතැයි හෙළි වී ඇත. සහරාන් අත්අඩංගුවට ගැනීමට තිබූ අවස්ථාව තමා අත්අඩංගුවට පත්වීම නිසා අහිමි වූ බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ප්‍රකාශ කළද එය සාවද්‍ය බවට තොරතුරු අනාවරණය වෙයි. සිව්වැනි ඊළාම් යුද්ධයෙන් පසුව යළි හිස එසවූ කොටින්ට නායකත්වය දෙන්නට ආ ගෝපි, අප්පන්, තේවියන් කණ්ඩායම සොයා කළ මෙහෙයුමකදී ත්‍රස්ත වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබුවේද එම මාරු කර යැවූ ස්ථානාධිපතිවරයාය. එම නිලධාරියාව මාරු කර යවා විමර්ශන කල් මරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙත සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර ඇත්තේ සහකාර පොලිස් අධිකාරී නවාස් නමැති නිලධාරියාය. 2018 ජූලි 02 වැනි දින සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය වරෙන්තු ලබාගෙන ඇතත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් 25 වැනිදාය. අවසානයේ එම බුද්ධි ඒකකයේ සිටි සෙසු බුද්ධි නිලධාරීන් එක් එක් පොලිස් ස්ථානවලට මාරු කර ඇති අතර ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු, පොලිස් සැරයන්වරුන් හා පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනකු එසේ බුද්ධි රාජකාරියෙන් ඉවත් කර තිබේ. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..