brand logo

හිටපු හෝමාගම දිසා විනිසුරුට වසර 16ක සිරදඬුවම්

20 February 2020

නඩුවක එක් පාර්ශවයකට වාසිදායක ආකාරයෙන් තීන්දුවක් ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් අද(20) බරපතල වැඩ සහිත වසර 16 ක් බැගින් සිරදඬුවම් නියම කර ලදී ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 20000/- බැගින් දඩ ද නියම කෙරුණු අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවත් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්ෂ තුනක මුදල දණ්ඩනයක් වශයෙන් ගෙවිය යුතු බවට ද විනිසුරුවරයා විසින් විත්තිකරුවන්ට නියෝග කරන ලදී. 2013 වසරේ මැයි මස 27 වැනිදා සහ 05 වනදා අතර කාලසීමාව තුල හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචි දීපිකා ශ්‍යාමලී නැමැති කාන්තාවක් විසින් හෝමාගම දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුව වගඋත්තරකාර පාර්ශවයට පක්ෂග්‍රාහීව තීන්දුව ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා හතරක් යටතේ හිටපු දිසාවිනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි යන අයට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය. "මෙම නඩුවේ විත්තිකරුවන්ගේ විත්තිවාචකය වූයේ වඩුබාස් කෙනෙක් සොයා ගැනීම සඳහා තමන් පැමිණිලිකාර කාන්තාවගේ නිවසට ගිය බවයි. මෙම නඩුවේ පළවන විත්තිකරු විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ අයෙක්. ඔහුගේ තත්ත්වයට අනුව වඩුබාස් වරයෙකු සොයා ගැනීම සඳහා මේ ආකාරයෙන් පැමිණිලිකාර කාන්තාවගේ නිවසට යාමේ අවශ්‍යතාවයක් මතුවන්නේ නැහැ. ඔහුගේ නිලය අනුව අවශ්‍ය නම් වඩුබාස් වරයෙකු නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ නිසා විත්තිකරුවන් ඉදිරිපත් කරන විත්තිවාචකය පිළිගැනීමට හැකියාවක් නැහැ. එමෙන්ම මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනා සිද්ධිය වූ දින අදාල වෙලාවේ පැමිණිලිකාරිය ගේ නිවස ආසන්නයේ සිටි බවට ඔවුන්ගේ දුරකතන ඇමතුම් වලට අදාල කුලූණු වාර්තාවලින් තහවුරු වී තිබෙනවා" යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා සියලු කරුණු සලකා බැලීමේදී විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ මෙහි පළමුවන විත්තිකරු විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් කර තිබෙන මෙම ක්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. විනිසුරුවරයෙකු ලෙස අපරාධ අවම කිරීමට කටයුතු කළයුතු මෙම නඩුවේ පළමුවන විත්තිකරු මේ ආකාරයෙන් අපරාධ ක්‍රියාවකට යොමු වීම තුළින් සමස්ත විනිසුරු වෘත්තියටම අවමානයක් සිදුවන බවද විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය. මෙම නඩුවේ දෙවන විත්තිකරු පොලිස් කොස්තාපල්වරයෙකු බවත් ඔහු විසින් සිදුකර තිබෙන වැරදි ක්‍රියාව හරහා මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම බරපතළ කැළලක් සිදුවන බවද විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේය. ඒ අනුව විත්තිකරුවන්ට ආදාල චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන හෙයින් ඔවුන්ට ඉහත දඬුවම් ප්‍රකාශයට පත් කරන බවද විනිසුරුවරයා විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කරන ලදි මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ (නීති) ගංගා හෙයියන්තුඩුව මහත්මිය සමග ජේෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා පෙනී සිටියේය.   (අධිකරණ වාර්තාකරු )
 

More News..