brand logo

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් හතරකට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 03 වනදා

27 January 2020

අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන තහනම් නියෝගයක් හේතුවෙන් බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 03 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (27) තීන්දු කළේය. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම තම සේවාදායකයා ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන මෙම නඩුවේ සාක්ෂි විභාගය මේ මස 29 වනදා තෙක් අත් හිටුවන ලෙස දන්වා තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව දැනුම් දුන්නේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ යොහාන් අබේවික්‍රම මහතා විසින් ද මෙම කරුණ තහවුරු කරන ලදී. ඒ අනුව ඊයේ සහ අද දින වල පැවැත්වීමට නියමිතව තිබූ අදාළ නඩුවේ සාක්ෂි විභාගය අවලංගු කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නඩුවේ විභාගය පෙබරවාරි මස 03 වනදා තෙක් කල් තැබීමට තීන්දු කළේය. මෙහිදී විත්තිකාර හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජය මගින් පත් කර තිබෙන ජනාධිපති කොමිෂන් සභාවට තම සේවාදායකයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කර සිටියේය. ඉකුත් රජය සමයේ තම සේවාදායකයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා වශයෙන් රාජකාරි කළ බවත් එම වකවානුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එවක රජයේ අමාත්‍යවරුන්ගෙන් තම සේවාදායකයාට ඇතැම් නඩු සම්බන්ධයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබූ බව ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ ඔහු විසින් සඳහන් කර ඇතැයිද ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය. අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින්ගේ බලපෑම්වලට නතු නොවී ඔවුන්ගේ සිතැඟි අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ඔහු දේශපාලන වශයෙන් දැඩි පළිගැනීමකට ලක්වූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට එරෙහිව මෙම නඩුව පැවරුණු බව තම සේවාදායකයා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි ද වැඩිදුරටත් අධිකරණය හමුවේ දන්වා සිටියේය. (අධිකරණ වාර්තාකරු)
 

More News..