brand logo

හිටපු පොලිස්පතිට හා ආරක්ෂක ලේකම්ට එරෙහිව ගොනු කෙරුණු ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ලබන 09වනදා

20 September 2019

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මගින් මිනී මැරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඇප මත මුදාහරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් මස 09 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) නියෝග කළේය. මෙම පෙත්සම්වලට අදාළ කරුණු දැක්වීම් අද දින අවසන් වීමෙන් පසුව මහාධිකරණ විනිසුරුවරයා මේ බව නිවේදනය කර සිටියේය. අද දින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කරුණු දක්වමින් මෙම සැකකරුවන් දෙදෙනාට ඇප නියම කරමින් මහෙස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය මුළුමනින්ම දෝෂ සහිත බව ප්‍රකාශ කළේය. මෙම සැකකරුවන් දෙදෙනාට මිනීමැරීමේ චෝදනාව එල්ල කිරිම සඳහා ප්‍රමාණවත් කරුණු නොමැති බව පූර්ව නිගමනයක සිටිමින්ම මහේස්ත්‍රාත්වරිය එම නඩුවේ මුල සිටම කටයුතු කර ඇතැයි චෝදනා කල දිලීප පිරිස් මහතා සැකකරුවන්ට ඇප ප්‍රදානය කිරීමේ සම්පූර්ණ ක්‍රියාදාමයම පක්ෂග්‍රාහී බව සඳහන් කර සිටියේය. මෙම සැකකරුවන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දුන් විගසම හෘදයාබාධ වැළඳී ඇති බව සඳහන් කරමින් ඔවුන් දෙදෙනාම රෝහල්ගත වූ බවත් ඒ පිළිබඳව සොයා බැලීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු නොකිරීම බරපතළ අඩුපාඩුවක් බවට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. මෙම සැකකරුවන් දෙදෙනා මෙම නඩුව කෙරෙහි දක්වන උනන්දුව පාස්කු ප්‍රහාර මාලාව එල්ල වීමට පෙර දිනවල ලැබුණු බුද්ධි තොරතුරු කෙරෙහි අවධානය යොමු කරවා තිබුණේ නම් මෙම අවාසනාවන්ත සිද්ධිය වළක්වාගැනීමට හැකියාව තිබුණු බව දිලීප පීරිස් මහතා සඳහන් කළේය. මහේස්ත්‍රාත් අධිකරණයට මෙවැනි ඇප නියෝගයක් ප්‍රකාශය කිරීමට කිසිසේත්ම බලයක් නොමැති හෙයින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට ඇප ප්‍රදානය කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රකාශ කර තිබෙන ඇප නියෝගය ප්‍රතිශෝධනය කර ඔවුන් දෙදෙනා වහාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නීතිපතිවරයාගේ ප්‍රතිශෝධන ඉල්ලීම පිළිබඳ නියෝගය ඔක්තෝම්බර් මස 9 දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය. අධිකරණ වාර්තාකරු
 

More News..