brand logo

හිටපු තුන් ඉරියව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට දූෂණ චෝදනා

24 September 2021

මාලන් සැමුවෙල්ස්ට එරෙහිව අයි.සී.සී. දූෂණ මර්දන පනත යටතේ චෝදනා ගොනු කරයි

බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් අයි.සී.සී. දූෂණ මර්දන පනත යටතේ චෝදනා ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 10 ක්‍රිකට් ලීගයකට අදාළව මෙම චෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ. ඉකුත්දා (21දා) දිනයේ සිට දින 14 ක කාලයක් දක්වා මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා සැමුවෙල්ස්ට කාලයක් ලබා දී තිබේ. ඉකුත් 2020 වසරේ අග භාගයේදී සිය සමුගැනීම නිවේදනය කළ සැමුවෙල්ස්, 2000 වසරේ සිට 2018 වසර දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටියේය. එම කාලයේදී ඔහු ටෙස්ට් තරග 71කට, එක්දින තරග 207කට හා 20යි 20 තරග 67කට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර පිටියේ ලකුණු 11,134ක් ලබා කඩුලු 152ක්ද බිඳ හෙළීමට සමත්වූවෙකි. කොදෙව්වන් දිනූ 2012 සහ 2016 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ද්විත්වයේම අවසන් තරගයේ වීරයා සම්මානයෙන් ද සැමුවෙල්ස් පිදුම් ලබා තිබේ.

උක්ත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර 10 ක්‍රිකට් ලීගයට අදාළව මීට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටද චෝදනා එල්ල වූ අතර ඉන් ක්‍රීඩකයන් කිහිපදෙනකු නිර්දෝෂී බවටද සනාථ විය.

 

More News..