brand logo

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහි නඩුවේ තීන්දුව ලබන 19 වනදා

04 December 2019

කන්තලේ සීනි සමාගමට අයත් අබලි යකඩ කොටස් හා ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය අවසන් කළ කොළඹ ත්‍රීපුද්ගල ස්ථිර මහාධිකරණය එහි තීන්දුව ලබන 19 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය. සම්පත් අභයකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි. මෙම නඩු විභාගයට අදාළව දීර්ඝ ලෙස සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර විත්තියේ සහ පැමිණිල්ලේ නීතිඥවරු විසින් වාචික දේශනද ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව නඩුවේ තීන්දුව ලබන 19 වනදා ප්‍රකාශයට පත් කළ බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබීය. 2018 වසරේ මැයි මස නව වන දා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකු කේ. නාගරාජ මහතා ගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටලයක රථගාලේ දී ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.ඉන් අනතුරුව චෝදනා 24 ක් යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරනු ලැබීය. (අධිකරණ වාර්තාකරු)
 

More News..