brand logo

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු පිරිසට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුව කල් යයි

29 October 2019

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කළ අවධියේ ලංකා විදුලිබල සමාගමට දේපළ මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් නඩු පැවරීමට උපදෙස් ලබා දීම පැහැර හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එම්.ඩී. නවාස් සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් නොවැම්බර් මස 29 වනදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද (29) නියෝග කරනු ලැබීය. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුවේ විභාගය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2020 වසරේ මැයි මස 15 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් කළේය. එම අවස්ථාවේ නඩු ගොනුව පරික්ෂා කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීයා අමතමින් එම තහනම් නියෝගයේ සහතික පිටපතක් නඩු ගොනුවට ඇතුළත් වී නොමැති බව පෙන්වා දුන්නාය. එම තහනම් නියෝගය පිළිබඳ සහතික පිටපත නොවැම්බර් මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමේ නිලධාරියාට මෙහිදී නියෝග කරන ලදී. හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් සහ අභියාචනාධිකරණ විනිසුරු නවාස් යන මහත්වරු නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ අවධියේ ලංකා විදුලිබල පුද්ගලික සමාගමට ඉඩම් මිලදී ගැනීමේ දී සිදු වූ බව කියන අක්‍රමිකතාවකට සම්බන්ධ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට නඩු නොපවරා සිටීමට උපදෙස් ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..