brand logo

හැම දෙයක්ම වැරදි තැනින් අල්ලා මඩ ගහන්න එපා (වීඩියෝ)

21 September 2022

විවාහක රූ රැජින තරගාවලිය ගැන කතා කරද්දී පුෂ්පිකා ද සිල්වා කියන නම අපිට කිසිසේත්ම අමතක වෙන්නේ නැහැ. විවාහක රූ රැජින කිරුළ සහ පුෂ්පිකා ද සිල්වා සම්බන්ධ කරමින් පහුගිය කාලයේ විවිධ කතා පැතිරුණා. කොහොම වුණත් අද අපි කතා කරන්න යන්නේ පුෂ්පිකා ද සිල්වා ගැන වුණත් ඒ කතාවට මාතෘකාව වුණේ විවාහක රූ රැජින කිරුළ නම් නෙමෙයි. පුෂ්පිකා ද සිල්වා පහුගිය දවසක කුඩා දරුවකුට උදව් උපකාර කළ වීඩියෝවක් මේ වෙද්දි සමාජ මාධ්‍යවල නිතර නිතර හුවමාරු වෙනවා. ඒ ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. අසරණ දරුවකුට පිහිටවීම ගැන බොහෝ පිරිසක් පුෂ්පිකා අගය කරද්දී එවැනි උදව් උපකාර කරලා ඒවා සමාජ මාධ්‍යවලට එකතු කරන්නේ ජනප්‍රියත්වය අරමුණු කරගෙන කියලා ඇයට චෝදනා කරන පිරිසකුත් ඉන්නවා. කොහොම වුණත් රූ රැජින කිරුළ සම්බන්ධයෙන් ඇති වුණු සිදුවීම්වලින් ටික කාලයකට පස්සේ පුෂ්පිකා නැවතත් සමාජ සත්කාරවලට සම්බන්ධ වෙන්න තීරණය කළා කියලා අපිට ආරංචි වුණා. ඉතින් හොඳ සහ නරක ප්‍රතිචාර මැද පුෂ්පිකා යන ගමන ගැන ඇයගෙන්ම අහන්න අපි තීරණය කළා. "අසරණ අයට පිහිට වීම මගේ තාත්තාගෙන් මට ලැබුණු දායාදයක්. මිස් ශ්‍රී ලංකා වෙන්න කලින් පාසල් කාලයේදී වුණත් මම ගොඩක් දෙනෙක්ට උදව් උපකාර කරලා තියෙනවා. මම සමාජ සේවා කටයුතු කරන්නේ ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය බලාගෙන නෙවෙයි. ශ්‍රී ලාංකිකයෙක් හැටියට, විවාහ වුණු දරුවෙක් සමග තනිවුණ මවක් හැටියට අසරණ මවුවරුන්ට උදව් කරනවා කියන හැඟීම මට තිබුණා. දවස ගානේම කාට හරි පුංචි හරි උදව්වක් කරන්න මම උත්සාහ කරනවා. අනිත් අයට උදව් කරන එක, පින් රැස් කර ගන්න එක මට දැන් පුරුද්දකට ගිහින්." පහුගිය දවසක කුඩා දරුවෙක්ට උපකාර කිරීමේ සිදුවීම ගැනත් අපි පුෂ්පිකාගෙන් අහන්න අමතක කළේ නැහැ. "පුරුද්දක් විදිහට මම පෝය දවසට අසරණ අයට කෑම පාර්සල් දෙනවා. එතැනදි තමයි ඔය කියන කුඩා දරුවා වඩාගත්ත අම්මව මුණ ගැහුනේ. මම අඳුරන්නෙ නැතිව වුණත් ඒ බබා මම දිහා බලලා හිනා වුණා. ඒ හිනාව දැක්කාම මට ඒ දරුවත් මගේ දරුවෙක් කියලා දැනුණා. ඒ දරුවාව වඩා ගන්න මම අත දික් කරද්දි ඒ දරුවා මගේ අතට පැන්නේ හරිම කැමැත්තෙන්. ඒ දරුවාව මට දෙනවද කියලාත් මම ඒ අම්මාගෙන් ඇහුවා. කොහොම වුණත් අම්මා කෙනෙක්ගෙන් දරුවෙක් ඈත් කරන එක නරක දෙයක් නිසා මම ඒ අම්මටයි දරුවටයි පුළුවන් විදිහට උදව් උපකාර කළා." කොහොම වුණත් දරුවන් බිල්ලට දෙමින් ඇතැම් කාන්තාවන් මත්ද්‍රව්‍ය මිලට ගැනීමට මුදල් උපයනවා කියලත් කතාවක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා කුඩා දරුවා හා කාන්තාවට උදව් උපකාර කිරීම ගැන පිරිසක් පුෂ්පිකාට දොස් පවරලාත් තිබුණා. කොහොම වුණත් ලැබෙන හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් උපේක්ෂාවෙන් දරා ගන්නවා කියලත් පුෂ්පිකා කිව්වා. "ඒ කාන්තාව බොරුවක් කරනවා නම් වංචාවක් කරනවානම් ඒ ප්‍රතිඵලය ඒ අයට තියෙයි. මම කළේ දරුවාට උදව් කළ එක. මම මේ දේවල් වීඩියෝ කරලා සමාජ මාධ්‍යවලට දාන්නේ තව කවුරුහරි මේ දේවල් දැකලා තවත් එක්කෙනෙක්ට හරි උදව් කරයි කියලා යහපත් චේතනාවෙන්. ලෝකයේ බොහෝ ජනප්‍රිය පුද්ගලයන් පවා අන්‍යයන්ට උදව් උපකාර කරන දේවල් මාධ්‍යවලට මුදා හරිනවා. එහෙම කළොත් තමයි තව කෙනෙක් ඒ දේවල් දැකලා අනෙක් අයට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා කවුරු කොහොම කිව්වත් මම පුළුවන් විදිහට උදව් උපකාර අවැසි පුද්ගලයන්ට උදව් කරනවා." ඒ නිසා ඕනෑම සිදුවීමක් වැරදි තැනින් අල්ලා ගනිමින් බොරු මඩ ප්‍රචාර පතුරුවන, අයහපත් ප්‍රතිචාර දක්වන පිරිස ගැන හිත හිතා කාලය නාස්ති කර ගන්නේ නෑ කියලත් පුෂ්පිකා අපිත් එක්ක කිව්වා. "කොහොමත් මේ සමාජයේ යම් දෙයක් කරන කෙනාට තමයි වැඩිපුර කතා හැදෙන්නේ. කිසිම දෙයක් නොකර ඉන්න අය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ අයව විවේචනය කරන්නෙත් නැහැ. එහෙම අය තමන්ට වැඩකුත් නැහැ, සමාජයට වැඩකුත් නැහැ. පුළුවන් තරම් අසරණ අයට පිහිට වෙන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. එහෙම කරන්න හැකියාවක් නැත්නම් අඩුම තරමින් එහෙම කරන අයව වැරදි විදියට විවේචනය කිරීමෙන්වත් වළකින්න..." නිරෝෂා වාසල May be an image of 1 person, standing and indoorMay be an image of 1 person, standing, high-heeled shoes and indoorMay be an image of 2 people, helicopter and outdoorsMay be an image of 1 person, sitting, sunglasses and outdoorsMay be an image of 1 person, sitting and outdoors
 

More News..