brand logo

හැම තෙල් බැරලයකින්ම ඩොලර් පනහක් හූරගෙන කනවා

27 August 2022

රටේ ඉන්ධන, විදුලිය හා මූල්‍ය ක්ෂේත්‍රයේ බරපතළ අර්බුදයක් ඇති වන බව පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා බොහෝ කලකට පෙර කිව්වේය. උද්ගත වී තිබෙන බලශක්ති අර්බුදය විසඳීමට ඔහු රජයට එක් වන බව දේශපාලන ක්ෂේත්‍රයේ කතා පැතිරුණේ වෘත්තිය ඉංජිනේරුවෙක් වූ ඔහු විදුලිබල ඇමැති කාලයේ එම ආයතන ලාභ ලැබූ නිසාය. එනමුත් ඔහු සජිත් ප්‍රේමදාසට සහාය දීමෙන්ද සමගි ජන බලවේගයෙන් ද ඉවත් වී ස්වාධීන වුණත් ආණ්ඩුවට එක් වූයේ නැත. මේ ඒ ගැන ‘සතිඅග අරුණ’ ඔහු සමග කළ සාකච්ඡාවකි. රටේ ඉන්ධන, විදුලිය හා මූල්‍ය අර්බුදයක් එන බව ඔබ කිවූ අනාවැකි ඇත්ත වුණා. ඔබේ තක්සේරුව අනුව ඊළඟට මොකද වෙන්නේ? තවමත් මම පෙන්වා දුන් අර්බුදවලට ස්ථිරසාර විසඳුමක් ලබාදීලා නැහැ. තාවකාලික විසඳුම් පමණක් දී තිබෙනවා. එම තාවකාලික විසඳුම්ද සැප්තැම්බර් වන විට අවසන් වෙි කියා මම හිතනවා. උදාහරණයක් ලෙස ගෑස් ආනයනය කළේ ලෝක බැංකු ප්‍රතිපාදන මතයි. ගෑස් තොගය ඉවර වුණාම ඊළඟ ගෑස් තොගය ආනයනයට විසඳුමක් නැහැ. ගල් අඟුරු ගෙන්වීමත් එහෙමයි. වර්තමානයේ ක්‍රියාත්මක ඉන්ධන සලාක ක්‍රමය තව කොච්චර කල් දෙන්න වෙයිද? අනාගතයේ ඉන්ධන ගෙන්වීම ස්ථාවර නැහැ. තෙල් ගෙන්වීමේදී බරපතළ අක්‍රමිකතා මතු වී තිබෙනවා. නමුත් මහ බැංකු අධිපති ගත් ඇතැම් තීන්දු තීරණ නිසා ක්ෂේත්‍ර කිහිපයක මූල්‍ය ස්ථාවරත්වය ඇති වී තිබෙනවා. මූල්‍ය අර්බුදය විසඳෙනකම් තෙල් සලාක ක්‍රමයට දෙන්න වෙනවා. ඔබ හිටපු විදුලි බල හා බලශක්ති ඇමැතිවරයෙක්. ඒ කාලේ මෙහෙම අර්බුදයක් ඇති නොවූයේ ඇයි? මම ඇමැති කාලේ මූල්‍ය අර්බුදයක් රටේ තිබුණේ නැහැ. වත්මන් බලශක්ති අර්බුදය කංචන විජේසේකර අමාත්‍යවරයා නිර්මාණය කළ එකක් නොවෙයි. ඊට මීට පෙර හිටපු බලශක්ති ඇමැති වගකිව යුතුයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් අඛණ්ඩව තෙල් නිෂ්පාදනයක් කරන්න ඕනේ. එමගින් ප්‍රශ්න කිහිපයක් විසඳෙනවා. ලංකා විදුලි බල මණ්ලඩයට අවශ්‍ය දැවි තෙල් සපයන්න පුළුවන්. පෙට්‍රල්, භූමි තෙල්, ඩීසල් නිපදවන්න පුළුවන්. ගෑස්ද නිපදවනවා පිරිපහදු කළ තෙල් වල හා බොරතෙල්වල වෙනස ඩොලර් විසිපහ දක්වා වැඩි වී තිබෙනවා. අපේ පිරිපහදුවේ ධාරිතාවය ප්‍රමාණවත් මදි. නමුත් බොරතෙල් පිරිපහදුවෙන් ලාභයක් ලබන්න පුළුවන්. ධාරිතාව වැඩි කළ යුතුයි. නළ පද්ධතිය නවීකරණය කළ යුතුයි. ඒවා මුකුත් ඉකුත් කාලේ වුණේ නෑ. ඉන්ධන ආනයනයේදී විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. නමුත් අර්බුදය පාදක කරගනිමින් ඉන්ධන ආනයන සමාගම් දෙකක් සෑම බැරලයකින්ම ඩොලර් විස්සක්වත් ගන්නවා. ඒ කියන්නේ ලීටරයකින් රුපියල් හතළිහක් ගන්නවා. එක සමාගමක් තෙල් ගෙන්වන්නේ රුසියාවෙන්. තෙල් බැරලයක් ඩොලර් එකසිය හතළිහක් ගෙවා තමයි අපි මිලදී ගන්නේ. නමුත් සත්‍ය මුදල ඩොලර් අනුවයි. ඩොලර් පනහක් විතර අපෙන් හූරා කනවා. මේ සියල්ල වෙන්නේ ප්‍රසම්පාදනයේ ප්‍රශ්නය නිසයි. ඔබ බලශක්ති ඇමැති කාලයේත් මෙම ප්‍රශ්නය තිබුණාද? 2015 වසරේ මම බලශක්ති ඇමැති වූ පසු නීත්‍යනුකූල නොවන අයුරින් දුන් ඉන්ධන ටෙන්ඩර පහක් නතර කළා. ඒ සියල්ල දී තිබුණේ රාජපක්ෂ යුගයේදී. මම ඒ ටෙන්ඩර පහ නතර කරලා තරගකාරී පදනමට දැම්මා. ලියාපදිංචි වූ සැපයුම්කරුවන් හැටනවයක් සිටියා. ඔවුන් කැඳවා මේ ගැන දැනුවත් කළා. ඇයි ඔයගොල්ලෝ ටෙන්ඩරයට ඉදිරිපත් වෙන්නේ නැත්තේ කියලා. එම සැපයුම්කරුවන්ගේ පිළිතුරු වූයේ ටෙන්ඩරයට ඉදිරිපත් වෙලා වැඩක් නැහැ. අතයට ගනුදෙනු විතරයි වෙන්නේ කියලා ඔවුන් ප්‍රකාශ කළා. එම යුගය අවසන් කරන බව මම ප්‍රකාශ කළා. දින එකසිය අසූවෙන් මුදල් ගෙවන බව ප්‍රකාශ කළා. තරගකාරී ක්‍රමයට ඉන්ධන ප්‍රසම්පාදනය කිරීම නිසා විවිධ පුද්ගලයන් ගසා කෑ රූපියල් කෝටි 6700ක මුදලක් ඉතිරි කරගත්තා. එම නිසා තෙල් මිල අඩුකරලා ජනතාවට දුන්නා. ජනතාවට දැන් මතක නැහැ ඩීසල් ලීටරයක් රුපියල් අනූපහට ලැබුණා කියලා. එම නිසාද ඔබ මාධ්‍ය හමුවකදී කියා සිටියේ රාජකීය පුත්තු තෙල්වලිනුත් ගසා කනවා කියලා? ඔව්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර සමාගම් රාජකීය පුත්තුන්ට සම්බන්ධ බව මට විදුලිබල මණ්ඩලයේ ඉන්නකොට තේරුණා. මොකද රොකට් එකක් යැව්වානේ. එම රොකට් එක යවන්න සල්ලි හොයාගත් විදිහ රටට තවම හෙළිදරව් කර නැහැ. ලංකාවෙන් රොකට් එකක් යවනවා කියලා මාධ්‍ය සාකච්ඡාවක් තියන්න මටත් ආරාධනා කළා. මම තාක්ෂණ ඇමැති වුණත් ගියේ නැහැ. මම කරුණු හොයා බැලුවා. එම රොකට්ටුව චීනයට අයත්. මිලියන ගණනාවක් ගෙවලා අයිතියක් ගෙන තිබුණා. අපේ කියලා පෙන්වන්න ස්ටිකරයක් ගහලා තිබුණා. මහ පොළොව විකුණලා අභ්‍යවකාශයේ අපිට අයිති තැනත් විකුණන්න තමයි රාජකීය පුත්තු වැඩකළේ. මේ වැඩේට සම්බන්ධ වූ සමාගම ලංකා විදුලි බල මණ්ඩලයට බාල ගල් අඟුරු නැව් පහක් ගෙනාවා. ඊට අදාළ ගෙවීම් මම ප්‍රතික්ෂේප කළා. ඒ නිසයි මගේ ඇමැති ධුරය මහින්ද රාජපක්ෂ විසින් අහෝසි කළේ. මම ගිහිල්ලා මාස කිහිපයකින් එම මුදල ගෙව්වා. එය විගණන වරදක් ලෙස දක්වා ලංකා ගල් අඟුරු සමාගමේ අදටත් තියෙනවා. ඒක නිසා මම දන්නවා මේ ජාවාරම්වල පි​ටුපස ඉන්නේ කවුද කියලා. වර්තමානයෙත් ගල් අඟුරු සැපයීම එහෙමයි. පිළිගත් සමාගමකට මුවාවෙලා වෙනත් සමාගමක් ගල් අඟුරු සපයන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. වෙනත් සමාගම කාගේද කියලා කවුරුත් දන්නේ නැහැ. විදුලි අර්බුදයට විසඳුමක් නැද්ද? දිගටම විදුලිය කපන්න වෙනවද? විදුලිබල ඉල්ලුම මේ වන විට 25%කින් පමණ කඩා වැටී තිබෙනවා. එම නිසා ඉන්ධනවලින් විදුලිය නිපදවීම පාලනය වී තිබෙනවා. ජල විදුලියෙන් හා ගල් අඟුරුවලින් විදුලිය 100%ක්ම දෙන්න පුළුවන්. එය මණ්ඩලයට මූල්‍ය වශයෙන් ශක්තිමත් වුණාට රටට ලොකු පාඩුවක්. රාජ්‍ය ආර්ථිකයට දායක වන නිෂ්පාදන සමාගම් වැසී යාම නිසා තමයි විදුලි ඉල්ලුම අඩුවී තිබෙන්නේ. ගල් අඟුරු සැපයුම විධිමත් නොකළහොත් සැප්තැම්බර් වන විට අර්බුදයක් ඇති වෙනව. විදුලිබල මණ්ඩලය කොටස් හතකට බෙදා වෙන් කරන්න හදනවා. බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයකු වන ඔබ මෙය නිවැරැදි විසඳුමක් ලෙස දකිනවද? මීට වසර විස්සකට පෙර ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් කළ යෝජනාවකට අනුව තමයි එය වන්නේ. කරු ජයසූරිය තමයි ඒ කාලේ ඇමැති. එම යෝජනාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හයකට වෙන් කළා. මේ වෙන් කිරීමෙන් විදුලිබල මණ්ඩලය කාර්යක්ෂම වෙයිද? සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වන තරගය මෙයින් ඇති වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස දුරකථන සමාගම් බිහිවීම නිසා ජනතාවට තෝරා ගැනීමේ අවස්ථාව උදා වී තිබුණා. එහෙම දෙයක් විදුලියේ වෙන්නේ නැහැ. එක් සැපයුම්කරුවෙක් විතරයි ඉන්නේ. විදුලිබල මණ්ඩලයට මූල්‍ය විනය හඳුන්වා දිය යුතුයි. එම නිසයි යහපාලන කාලයේ ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි දෙදහක් ලාභ ලැබුවේ. විදුලි බල මණ්ඩලය සිය වියදම් පාරිභෝගිකයා පිට පටවා විසඳුම් සෙවීම නිවැරදි ක්‍රමය නොවෙයි. විදුලි බල මණ්ඩලයටත් ඉලක්ක තියෙන්න ඕනි. එවැනි ඉලක්ක මණ්ඩලය සතුව නැහැ. ඔබ දකින ප්‍රමුඛතම ඉලක්කය කුමක්ද? වර්තමාන අර්බුදයට ක්ෂණික විසඳුම වන්නේ ජන බලාගාර සෑදීමයි. මහජනයා විදුලි බලාගාර බවට පත්කළ යුතුයි. විදුලි ඒකක 300ට වඩා භාවිත කරන පුද්ගලයින් හා ආයතන තිබෙනවා ලක්ෂ පහක් විතර. එම සංඛ්‍යාව ජාතික පද්ධතියෙන් ඉවත් කළ යුතුයි. ඔවුන් පුනර්ජනනීය විදුලි නිෂ්පාදනයට යොමු කිරීමෙන් ඉන්ධන ආනයනය තවත් අඩු කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය කර්මාන්තවලට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය යුතුයි. පෙට්‍රල් රුපියල් 250කට දෙන්න පුළුවන් බව ඔබත් ප්‍රකාශ කළා. නමුත් ඇයි ආණ්ඩුව ඒ මිලට නොදෙන්නේ? බදු මුදල්, හොරකම්, වෙනත් වියදම්, දූෂණය, අල්ලස නිසා රුපියල් 250කට පෙට්‍රල් ලබාදිය නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා රේගු දත්ත පදනම් කර ගනිමින් පෙට්‍රල් රුපියල් 250කට දෙන්න පුළුවන් කියා ප්‍රකාශ කළා. සභාපතිවරයා බොරු ප්‍රකාශ කළා නම් ඉවත් කරන්න තිබුණානේ. පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ගැන ඔබගේ අදහස කුමක්ද? සමහර රාජ්‍ය ආයතන පුද්ගලිකරණය කළාට ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන් ප්‍රධානයි. හැබැයි කවුරුවත් ඩොලර් බිලියනයක ණයක් එක්ක ගන්නේ නැහැ. මත්තල ගුවන් තොටුපොළත් ලබාදිය යුතුයි. ඒ ණය අපට ගෙවන්න බැහැ. කරන්න පුළුවන් කෙනෙකුට ලබාදිය යුතුයි. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මතද? අයි.එම්.එෆ්. එකෙන් අපිට යෝජනාවක් ලබාදී තිබෙනවා. ණය ප්‍රතිව්‍යූහගත කිරීම එක් යෝජනාවක්. ආණ්ඩුවේ වියදම් අඩු කරලා ආදායම් වැඩි කරලා අපේ ප්‍රාථමික ශේෂය බින්දුව කරගත යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණය කපා හරින්න ඕනි. මත්තල ගුවන් තොටුපොළට ගෙවන්න. ඩොලර් මිලියන 300ක් තියෙනවා. ශ්‍රීලන්කන්​ ඩොලර් බිලියනයක ණය තියෙනවා. හැබැයි සමහර ආයතන පුද්ගලිකරණය කරන්න බැහැ. ලංකා විදුලි බල මණ්ඩලය හොඳම උදාහරණයයි. සේවකයන් විසිදහසක්, රුපියල් බිලියන 500ක ණයක් එක්ක කවුද ගන්නේ? බැංකුවල තියෙන ණය නිසාත් පුද්ගලිකරණය කරන්න බැහැ. හැබැයි කොටස් වෙළෙඳපොළේ විකුණන්න පුළුවන්. මෙම ආයතනවල පාලනය වෘත්තීය පිරිසකට ලබාදිය යුතුයි. දේශපාලන හෙන්චයියලාගේ පාලනය හරියන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහට වැඩකරන්න කාලයක් දෙමු කියා ඔබ යෝජනා කළා. දැන් එම කාලය ඉවරද? ජනාධිපතිවරයා කරන්නේ මොනවද කියා අපි බැලිය යුතුයි. ඔහු කරගෙන යන එක වැඩක් සම්පූර්ණයෙන්ම වැරදියි. තෝරාගත් පිරිස් මර්දනය ඉතාම වැරදියි. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජනාධිපති මන්දිරයට ගියත් ​තෝරාගත් පිරිසක් අත්අඩංගුවට ගන්නවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන්ට නීතිය ක්‍රියාත්මක කරනවා. ඔවුන් පෙළපාළි ගිය එක විතරයි කළේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පසුගිය විසිවනදා පෙළපාළියක් ගියා. මොකුත් කළේ නැහැ. සමහර වෘත්තීය සමිති නායකයන් පොලිසියත් වට කළා. අත්අඩංගුවට ගත්තේ ස්ටාලින් විතරයි. පාර්ලිමේන්තුව වට කරන්න ජනතා විමුක්ති පෙරමුණේ නායකයොත් ගියා. අත්අඩංගුවට ගත්තේ පැතුම් කර්නර් විතරයි. මේවා යුක්ති සහගත නැහැ. රට බංකොළොත් කරපු අයට ජනාධිපතිවරයාගේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. රටේ ණය බර වැඩි කිරීම, මහ බැංකුව බංකොළොත් කිරීමට වගකිවයුත්තන්ටත් නඩු පැවිය යුතුයි. මර්දනය නිසා ජනාධිපතිවරයා ජනතා විශ්වාසය කඩකරගෙන තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩු වැඩපිළිවෙළට ඔබ මුලින් එකඟතාවයක් පෙන්නුවා. නමුත් දැන් වෙනස් වෙලා වගේ පෙනෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි යෝජනා හතරක් ඉදිරිපත් කළා. පක්ෂ නායකයන්ගේ ජාතික සභාවක් හැදීම, ආර්ථිකයේ හා දේශපාලනයේ අවම වැඩපිළිවෙළක් ප්‍රකාශ කිරීම, රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීම, එම යෝජනායි. හිතේ තියෙන තත්ත්වයට වඩා ප්‍රායෝගික විය යුතුයි. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු මන්ත්‍රිවරු පාලනයට හවුල් කරගැනීමද වැදගත්. වෘත්තීය මට්ටමේ පිරිසක් ප්‍රධාන රාජ්‍ය ආයතනවලට පත්කළ යුතුයි. ඔබගේ යෝජනාවලට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කුමක්ද? ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් තියෙනවා. ඔහුට පාර්ලිමේන්තු බලයක් නැහැ. ජනාධිපතිවරයා උපදේශක පත්වීම් දුන්නා. සියල්ල දේශපාලන පත්වීම්. ඒවා වෘත්තීය පත්වීම් නොවෙයි. ඒ නිසා ඔහු ගැන විශ්වාසයක් නැහැ. පොහොට්ටුවේ සහයෝගයෙන් ආණ්ඩු කිරීම ජනාධිපතිවරයා මුහුණ දී ඇති බරපතළම ප්‍රශ්නයයි. හැබැයි පාර්ලිමේන්තු ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ජනාධිපතිවරයා පොහොට්ටු ප්‍රතිපත්ති ඉවත දමා තමන්ගේ ප්‍රතිපත්ති එළියට දැම්මා. පාර්ලිමේන්තු සහයෝගය ගැනීමට ඔහුට විවෘතභාවයක් නැහැ. ජනාධිපතිවරයා ඔබට ඇමැතිධුර ගන්න ආරාධනා කළාද? ඇමැතිධුර ගන්නනම් කතා කළේ නැහැ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡාවට පමණයි එන්න කීවේ. අපේ යෝජනාත් දුන්නා. සර්ව පාක්ෂික ආණ්ඩුව ක්‍රියාත්මක කරන ආකාරය ගැන අපි බලාගෙන ඉන්නවා. තවම පැහැදීමක් නැහැ ඔබ දේශපාලනඥයෙක් වගේම වෘත්තිකයෙක්. මින් පෙර දුන් ඇමැතිකම් සාර්ථකව කළ අයෙක්. ඉතින් ආණ්ඩුව විවේචනය කරමින් සිටින්නේ නැතිව ඇමැතිධුරයක් භාරගෙන ආණ්ඩුවට දායක වෙන්නේ නැත්තේ ඇයි? ආණ්ඩුවට එකතු වීමේ අදහසක් මට නැහැ. බලශක්ති ක්ෂේත්‍රය ගැන මම විවේචනය කරන එක ඇත්ත. ඔබ හිතනවද රාජපක්ෂලා බලශක්ති ක්ෂේත්‍රය චම්පිකට දෙයි කියලා. ප්‍රකෝටි ගණන් මුදල් ලැබෙන පොම්පය නතර කරගන්න රාජපක්ෂලා කැමැති වෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ පාලන බලය වෙනත් අයට දෙන්නත් ඔවුන්ගේ සූදානමක් නැහැ. එහෙම තත්ත්වයන් යටතේ ඇමැතිධුර ගෙන වැඩ කරන්න මම සූදානම් නැහැ. පාර්ලිමේන්තුවේ විවිධ කමිටු, අධීක්ෂණ කමිටුවල සේවය කරන්න පුළුවන්. ඔබ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතහැරියේ ඇයි? එක්සත් ජාතික විපක්ෂයේ දුර්වලතාවයක් නිසා සමගි ජන බලවේගය ගොඩනැගුණ බව ඇත්ත. බලාපොරොත්තු වූයේ විකල්ප බලවේගයක්. තරුණයන්, මධ්‍යම පාන්තික ජනතාව ආකර්ෂණය කර ගන්න පුළුවන් වෙයි කියා හිතුවා. එහෙම දෙයක් සමගි ජන බලවේගයට කරන්න බැරි බව දැන් පැහැදිලියි. රටේ ජනතාවත් පිළිගන්නවා. ආණ්ඩුවක් මිනිස්සු ගහලා පැන්නුවට පස්සේ විපක්ෂය බලය ගත්තේ නැහැ. උවමනාවක් තිබුණේ නැහැ. හේතුව පැරණි මතවල සිටීමයි. ජේ.ආර්.ගේ ප්‍රතිපත්ති මේ රටේ අසමත් වුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය ඒ කාලේ සමත් වුවත් පසුව අසමත් වුණා. ජනතාව පිළිකුල් කළා. පැරණි යු.එන්.පී. මතවාදය ගෙනයන්නත් බැහැ. ප්‍රේමදාස මතවාදය ගෙන යන්නත් බැහැ. එය තේරුම් ගත යුතුයි. දැන් අවශ්‍ය අලුත් තත්ත්වයක්. සමගි ජන බලවේගයට එම අලුත් තත්ත්වය ගොඩනගන්න බැරි වුණා. හිතවතුන් හා ඥාතීන් අතරේ දේශපාලනය කරන්න පටන් ගත්තා. එම නිසා ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ බලවත් වුණා. නියම විපක්ෂයක් ක්‍රියාත්මක වූවා නම් ජන අරගලයට පෙර පාර්ලිමේන්තුව​ පෙරළන්න විපක්ෂයට හැකියාව තිබුණා. සජිත් ප්‍රේමදාස අගමැතිකම භාර ගත්තේ නැත්තේ බය නිසාද? මම හේතුව නම් දන්නේ නැහැ. විපක්ෂ නායක කියන්නේ අගමැති ධුරයට තරග කරන පුද්ගලයා. ඔහු එය ​මොන හේතුවක් මත හෝ කළේ නැහැ. එම නිසා තනි මන්ත්‍රි ජනපති ධුරයට පත් වුණා. විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාප පිළිබඳ රට තුළ විශ්වසනීයත්වයක් නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජනයා තුළ විශ්වාසනීයත්වයක් ඇති කර ගන්න බැරි වුණත් යම් කණ්ඩායමක විශ්වාසනීයත්වයක් ඇති කරගෙන තිබෙනවා. එය තහවුරු කර ගැනීම ඔහුගේ වගකීමක්. එසේ නොකළහොත් ජනාධිපතිවරයාටත් රාජපක්ෂලාගේ ඉරණමම අත්වෙනවා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදීත් සජිත් ප්‍රේමදාස සිය අවස්ථාව ඩලස් අලහප්පේරුම මන්ත්‍රිවරයාට දුන්නා. ඒ වෙලාවේ ඔබ තෝරාගත්තේ රනිල්ද? ඩලස්ද? අභි​යෝග භාරගැනීමේදී කතාවලින් ඔබ්බට ගිය දේශපාලන එඩිතරභාවයක් විපක්ෂනායකවරයා පෙන්නුම් කර නැහැ. එය කණගාටුවට කරුණක්. මම ඡන්දය දුන්නේ ඩලස් අලහප්පෙරුම අපේක්ෂකයාටයි. 43 සේනාංකය හා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වූ සාකච්ඡාවලට මොකද වුණේ. පොහොට්ටුව තුළ ඉන්නවා පිළිකා රෝගීන් කිහිපදෙනෙක්. ඔවුන් දේශපාලන පිළිකා රෝගීන් ලෙස මම හඳුන්වනවා. එම පිළිකාවන්ට හසු නොවී සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් අදහස් දරන කණ්ඩායමක් බිහි කළොත් ඩලස්ට පොහොට්ටුව තුළ පදනමක් හදා ගන්න පුළුවන්. පරණ පිළිකාවල කරේ අත දාගන්න ගියොත් ජනතාව ඩලස්වත් ප්‍රතික්ෂේප කරනවා. රාජපක්ෂවරු විතරක් නොවෙයි. මිනිස්සු පිළිකුල් කරන්නේ රාජක්ෂවරුන්ට. පුටින් කියපු ලී ක්වාන් යු කියපු රාජපක්ෂලා දුටු ගැමුණු කරපු රාජපක්ෂලා මතු බුදුවන​ බෝධි සත්ත්වයන් කරපු සියලුම දෙනාට අද ජනතාව වෛර කරනවා. එම නිසා ඩලස්ට අවස්ථාවක් තියෙනවා. නිවැරදිව කටයුතු කළ යුතුයි. මෙම කණ්ඩායම් එකතු වන්නේ නැත්තේ ඇයි? පුද්ගලවාදී ගැටුම්කාරී තත්ත්වය ඊට හේතුවයි. ඔබගේ ජීවිත කතාව ලීවේ පටිසෝතගාමීව තිස් වසරක් කියලා. ඔබ මේ කරන්න හදන්නෙත් ඉතිරි කොටසත් පටිසෝතගාමීව යන්නද? මම තවමත් පවතින ක්‍රමයට එරෙහිව යන්නේ. පවුල්වාදයට එරෙහිව කුසලතාවාදයට පක්ෂව මම කටයුතු කරන්නේ. අයථා ක්‍රමයට උපයා ගත් ධන බලයට එරෙහිව, මාධ්‍ය අධිකාරියට එරෙහිව අපි පෙනී සිටිනවා. අරගලය කියන්නේ අපේ දරුවෝ කරපු දෙයක්. අරගලය සමග තවදුරටත් ඉන්නවා. උදයජීව ඒකනායකඡායාරූපය - ලලිත් පෙරේරා
 

More News..