brand logo

හැම තැනම සහරාන්ලා පේන්න ගත්තොත් මේ රටට අනාගතයක් නැහැ - ඇමති චම්පික

07 June 2019

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ තීරණය ගැන තමන් කණගාටුවට පත්වන අතර, මැති ඇමතිවරුන්ට චෝදනා එල්ල වී තිබෙනවා නම් වහාම ඒවා විසඳය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මෙම අදහස් පළකර සිටියේ රට හදන, රකින ජාතික මග ව්‍යාපාරයේ මහනුවර සමුළුවට සහභාගි වෙමිනි. මුස්ලිම් සමාජය මෙහිදී කි‍්‍රයාත්මක වන ආකාරය අප තේරුම් ගත යුතුයි. මොකද හැම තැනකම සහරාන්ලා පේන්න ගත්තොත් මේ රටේ අපට අනාගතයක් ඇතිවෙන්නේ නැහැ. ඉතාම සුළු පිරිසක් ඉන්නවා විදේශීය කඳවුරුවලට ගිහින් සන්නද්ධ පුහුණුව ලබාගෙන ඒ ජිහාඞ් කි‍්‍රයාවලිය තුළින් තමන්වත් ඝාතනය කරගෙන අනුන්වත් ඝාතනය කරන්න යන සීයයක දෙසීයයක පමණ ඝාතකයින් පිරිසක් සිටිනවා. ඔවුන්ව හඳුනාගෙන ඒ අයව විනාශ කළ යුතුයි. ඒ තුළින් පමණයි අපට සාමය ඇතිකර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තව දාහක දෙදහක පමණ පිරිසක් ඉන්නවා එම මතවාදයේ ඉන්න ගමන් ප‍්‍රචණ්ඩ වැඩවලට යන්නෙ නැති උනාට එම සම්පූර්ණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලියට සහයෝගය දෙන. එම අය බොහෝ දෙනෙක් හැසිරෙන්නේ අන්තර්ජාලයේ. එකිනෙකා අඳුනන්නේ නැහැ. ගෙවල්වල මිනිසුන් දන්නේ නැහැ මේ ගෙවල්වල ඉඳගෙන මොනවද කරන්නේ කියලා. ඒ නිසා ඒ පිරිස හඳුනාගෙන නිෂ්කි‍්‍රය කළ යුතුමයි. අරාබි මුස්ලිවරු නෙමෙයි ශ‍්‍රී ලාංකික මුස්ලිම්වරු ගොඩනගා ගැනීමට ඒ මුස්ලිම් සමාජය තුළින් එන්න ඕනේ වැදගත් ප‍්‍රතිසංස්කරණයක්. අපට සතුටුයි අද එවැනි ප‍්‍රතිසංස්කරණයක් කරන්න අවශ්‍ය පිරිසක් ඉදිරිපත් වෙලා තිබෙන එක. අපගේ ජාතික මග වේදිකාව විවෘත වෙලා තිබෙන්නේ එවැනි ප‍්‍රතිසංස්කරණයක් කරන පිරිස් වෙනුවෙන්. ඒවගේම මේ රටේ සම්ප‍්‍රදායික මුස්ලිම්වරයෙක් හිටියා. පැරණි සූපි දහම සමග ගොඩනැගිච්ච මුස්ලිම්වරයෙක් හිටියා මේ රටේ. අපි ඔහුව කොන් කරන්න හොඳ නැහැ. ඔහුව බලාත්මක කරලා ඔහුගේ සමාජයේ ප‍්‍රධාන ප‍්‍රවාහය බවට පත් කර ගන්න ඕනේ. අපට ඕනෙ නම් ඕන කඩයකින් බඩු ගන්නේ නැතිව ඉන්න පුළුවන්. නමුත් අනවශ්‍ය විදිහට, ප‍්‍රචණ්ඩ ආකාරයට යම් යම් කි‍්‍රයාවන් කරන්න පටන ගතහොත් අසවල් කඩවලින් බඩු ගන්නේ නැහැ, අසවලූන්ට ගල්ගහන්න ඕනේ කියලා හරි මේ රටේ මේ ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ වෙනුවට තව දශක දෙක තුනක් අපි හැමෝටම ලේ ගංඟාත් සමග ජීවත්වෙන්න පුළුවන්. ආගමික ප‍්‍රධානීන්, මුස්ලිම් ආගමික වියතුන් මේ සියළු දෙනාම සම්බන්ධ වෙලා ආගමික මණ්ඩලයක් පිහිටුවා ගන්න. එතකොට අපට මේ ප‍්‍රශ්නය විසඳා ගන්න ඉතාම පහසු වෙනවා. ඒ වගේම මේ වර්තමානයේ තිබෙන ඇතැම් ප‍්‍රශ්න ඇත්තටම පහසුවෙන් විසඳාගන්න පුළුවන් ඒවා. අපේ ඇතැම් ඇමතිවරුන්ට චෝදනාවක් එල්ල උනා ත‍්‍රස්තවාදීන්ට සහය දෙනවා කියලා. එයට කළ යුත්තේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම නෙමෙයි. එයට කළ යුත්තේ එතුමන්ලා වැරදිකරුවෝද නැද්ද කියලා හොයලා බලන්න අපට තිබෙනවා ආරක්‍ෂක අංශ, පොලීසි, රහස් පොලීසි, ඒ හරහා දත්ත හොයලා ඒ අය අපරාධයක් කරලා තිබෙනවා නම් පාර්ලිමේන්තුවේ නෙමෙයි, නීතියෙන් වරද කාරයෝ කරන්න අපි කි‍්‍රයා කළ යුතුයි. ඒ වෙනුවට මාධ්‍ය සාකච්ඡා පවත්ව, පවත්ව අසවල් දේ කළා, අසවල් දේ කළා කිව්වට මේ ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මුලින්ම කිව්වේ මෙවැනි ප‍්‍රශ්න විසඳන්න තිබෙන වේදිකාව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවවත්, පාර්ලිමේන්තුවවත් නෙමෙයි කියලා. තේරීම් කාරක සභාව හොඳයි, මේ ප‍්‍රශ්නයේ තිබෙන ගැඹුර පිළිබඳව, එහි ඇති වූ වැරදි පිළිබඳව සොයා බලන්න. නමුත් අපරාධ චෝදනා කාටහරි එල්ල වී තිබෙනවා නම් ඒක පාර්ලිමේන්තුවේ තේරිම් කාරක සභාවට නොව එය ආරක්‍ෂක අංශවලට භාර කළ යුතුයි. මම ඉතාම කණගාටු වෙනවා අපේ මුස්ලිම් මැති ඇමතිතුමන්ලාගේ තීරණය ගැන. මම එතුමන්ලාට කිව්වා ඔබතුමන්ලා මොන අරමුණකින් මේක සිදු කරනවාද කියලා රටට මොනවා කිව්වත් මේ පර්යේෂණවලට සහය වීම සඳහා හෝ වේවා, වෙන ආකාරයකට හෝ වේවා මේ රට මේක තේරුම් ගන්නේ ඔබතුමන්ලා මුස්ලිම් හැටියට පමණක් කි‍්‍රයා කරන පිරිසක් හැටියටයි. මෙමගින් වෙන්නේ මොකද්ද බෞද්ධ හැටියට කි‍්‍රයා කරන්න අපිත් පෙළඹෙනවා, කි‍්‍රස්තියානි හැටියට කි‍්‍රයා කරන්න කි‍්‍රස්තියානි මැති ඇමතිවරු තීරණය කරනවා. හින්දු හැටියට කි‍්‍රයාකරන්න හින්දු මැති ඇමතිවරු තීරණය කළහොත් මොකද්ද මේ රටට වෙන්නේ. ඒක නිසා පොලීසියේ ආරක්ෂක අංශවල වගකීම තමයි යම් මැති ඇමති කෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා නම් දැන් වාහාම ඒක විසඳලා රටට කියන්න. ඒ වගේම වෛද්‍යවරු පිළිබඳව ගැටළු පැනනැගී තිබෙනවා. එම ප‍්‍රශ්න, සාමාන්‍ය මිනිසුන්ට විසඳන්න බැහැ. ඒකට තමයි වෛද්‍ය සභාව තිබෙන්නේ. ඔවුන් තමයි ඒ පිළිබඳව සිටින විශේෂඥයෝ. ඒ අය තමයි වෛද්‍යවරුන්ගේ ශිෂ්ටසම්පන්න භාවය, ප‍්‍රමිතිය, ඔවුන් කරන වැරදි පිළිබඳව සොයන්න වගකීම ඇත්තේ වෛද්‍ය සභාවට යැයි ද පැවසීය.
 

More News..