brand logo

හැමදාම හීන දැක්කේ සිනමාවේ වීරයා වෙන්න

08 February 2020

කැලුම් ආර්යන් කුලරත්න තාරුණ්‍ය නියෝජනය කරන රංගන ශිල්පියකු වගේම තිර රචකයකු සහ සිනමා නිෂ්පාදකවරයෙක්. කැලුම්ගේ රංගන දායකත්වය සහිත ඊතලය චිත්‍රපටයත් ළඟදීම දැකගන්නට පුළුවන්. කොහොමද සිනමාවට එන්නේ? මම කුඩා කාලේ ඉඳන්ම හැදෙන්නේ සිනමාව එක්ක, මගේ පියා තමයි නිමල් කුලරත්න. තාත්ත ඉස්සර ඉඳන්ම සිනමා ශාලා හිමියෙක්. ලංකාව පුරා සිනමා ශාලා කිහිපයක්ම තාත්තට තිබ්බා. ඒ වගේම තාත්තා චිත්‍රපට නිෂ්පාදනයත් කළා. නිතර දෙවේලේ අපේ ගෙදරට සිනමාවට සම්බන්ධ අය යනවා. ඉතින් මම ගොඩක් වෙලාවට කාලය ගතකළේ සිනමාහල් ආශ්‍රිතව. ඒ නිසා මං දැක්කා ඒ කාලේ නළුවන්ට නිළියන්ට තිබ්බ ප්‍රතිචාර.. ඒ කාලෙම හිතුවද කවද හරි නළුවෙක් වෙනවා කියල? ඔව්. මොකද අද වගේ නෙවෙයි ඒ කාලේ නළු නිළියන්ට තිබ්බ ප්‍රතිචාර ඉතා ඉහළයි. මම ඒවා දැක්ක කෙනෙක්. ඒ දේවල් දකිද්දී මාත් ආස කළා කවදා හරි නළුවෙක් වෙන්න. කොහොමද සිනමාවේ රංගන ශිල්පියකු විදියට ගමන පටන් ගන්නේ? අධ්‍යාපනය ඉවර වෙලා මම ශ්‍රී ලංකන් ගුවන් සේවයට බැඳුනා. ඒ එක්කම මෝස්තර නිරූපණය පැත්ත දිගටම කළා. ඔය අතරේ මෑන් හන්ට් කියන පැජන්ට් එක වින් කළා. ඊට පස්සේ වළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඔය අතරේ තමා මට අමිල කරුණානායක හරහා නාලක විතානගේ අධ්‍යක්ෂණය කරපු රූපාන්තරණ කියන චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඊට පස්සේ නාලක කරපු නිලංජනා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්න අවස්ථාව ලැබුණා. පසුව ප්‍රධාන චරිතයක් කරන ඊතලය චිත්‍රපටය මම නිෂ්පාදනය කරන්නේ. සිනමාවට එන්න ප්‍රමාද වැඩියි කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා, නමුත් මම හිතනවා දැන් තමා මගේ හරි කාලය කියලා, අනික මට ගෙදරින් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ මේ ගමන එන්න. තාත්තා සිනමාවට සම්බන්ධ වචනයකින් වත් මට උදව් කළේ නැහැ, මම ආඩම්බරෙන් කියන්නේ මේතාක් මම ආවේ තනි ගමනක්, අදටත් තාත්තා වුණත් මට කිසිම සපෝර්ට් එකක් දෙන්නේ නැහැ, මේ කර්මාන්තය තුළ දී. ඇයි ඒ, කලාව සිනමාව නියෝජනය කරනවට අකැමැතිද? නැහැ එහෙම නැහැ. මගේ දේවල් දැකලා තාත්තා සතුටු වෙනවා. තාත්තා හිතන්නේ ස්වාධීනව මේ ගමන යා යුතුයි කියලා. ඒ නිසා කිසිම කෙනෙක්ගෙන් උදව් ඉල්ලන් ගිහින් නැහැ. නැත්නම් ලංකාවේ ඉන්න ප්‍රබලම අධ්‍යක්ෂවරු සහ ප්‍රබලම නිෂ්පාදකවරු අපේ පවුලේ ළඟම හිතවත්තු. සෑහෙන කාලයක් තිස්සේ මම බලාගෙන හිටියා මේ අවස්ථාව ලැබෙයි කියලා, නාලක හමුවීමත් සමග මට ඒ අවස්ථාව ලැබුණා. ඊතලය තිරගත වෙන්නේ කවද්ද? පෙබරවාරි 29 වනදා තමයි මම මේ චිත්‍රපටය තිරගත කරන්න සූදානමින් ඉන්නේ. ඊතලය කියන්නේ ආදර කතාවක් ද? ඊතලය කියන්නේ ආදර කතාවකට යටින් යන ජාතික ආරක්ෂාවට සම්බන්ධ සංකීර්ණ කතාවක්., අවසානය දක්වා කුතුහලය දනවන, ලංකාවේ දැනට පවතින වාතාවරණය එක්ක ඉතා හොඳින් ගැළපෙන බුද්ධි අංශ නිලධාරියකු වටා නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඔබ රංගන ශිල්පියෙකු , නිෂ්පාදකයකු වගේම තිර රචකයෙකු.. ඒ ගැනත් කියමු මම කුඩා කාලේ ඉඳන්ම ලියන්න කැමැති කෙනෙක්. ලියපු තිර රචනා බොහොමයක් තියෙනවා. ඒ අතරින් මම රඟපෑ ගෝරි චිත්‍රපටය. මගේ තිර රචනයක්, මම මගේ තිර රචනය දුන්නට පස්සේ හර්ෂ ඒක එයාට ඕනේ විදියට වෙනස් කර ගත්තා. ඊට පස්සේ මහේෂ් මුණසිංහ ගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන රෂ් හි පිටපත මගේ. ගොඩක් අය පුදුම වුණා, ඒ පිටපත මම ලිව්වේ කියලා දැනගත්තම. ඒ එක්කම ජීවන් කුමාරණතුංග මහතා අධ්‍යක්ෂණය කරන ජීවා කියන චිත්‍රපටයේ පිටපත ලිව්වෙත් මම. පුංචි තිරයට ලැබෙන ආරාධනා භාර ගන්නේ නැද්ද? ආරාධනා නම් ලැබෙනවා. නමුත් කැමැති සිනමා නළුවකු විදියට ඉන්න. මොකද මම ආසයි සිනමාවට. මගේ තියෙන ව්‍යාපාර කටයුතු කරන අතරේ සිනමා නිර්මාණවලට දායක වෙන්න. ඒ වගේම මේ යන මෙගා නාට්‍ය රැල්ලට නම් මම කොහොමත් කැමැති නැහැ. අනාගතයේදී හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් දායක වෙන්න පුළුවන්. සිනමාවේ දායක වෙන්න කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවා ද? විශේෂයක් නම් නැහැ. හැබැයි මම පොඩි කාලේ ඉඳන් සිහින දැක්කේ සිනමාවේ වීරයා වෙන්න. ඒකට අවශ්‍ය සටන් කලාව හැදෑරුවා. නර්තනය හැදෑරුව, දැන් මේ මොහොතේ මේ චරිතය ලැබුණොත් හොඳයි කියලා නැහැ. යමක් කරන්න පුළුවන් කියලා හිතෙන චරිතයක් ලැබුණොත් කරනවා. අනුෂා රණසිංහ   
 

More News..