brand logo

හාල් උපරිම මිල ගැසට් කරන රටේ

11 January 2020

ඒ නුගේගොඩ ජුබිලිකණුව මංසන්ධියයි. ජනාධිපතිතුමා උදේ හවස පැඟිරිවත්ත පාරේ තම නිවසට යන්නේ මේ හන්දිය පසුකරගෙනය. පසුගිය අඟහරුවාදා ජුබිලිකණුව මංසන්ධියේ හාල් තොග කඩයක හිමිකරු සිටියේ උසාවියක දඩ කොළයක් කියවමිනි. ‘‘අපි හාල් වික්කේ රු. 110 ට. ගත්තෙත් රුපියල් 105 ට. ඒත් හාල් පාලන මිල රු.98 කළාම වික්කේ පාඩුවට රු. 98 ට. ඉරිදා උදේ පොලිසියෙන් ඇවිල්ලා කියලා ගියා පාලන මිලට මිසක් හාල් විකුණන්න එපා, අත්අඩංගුවට ගන්නවා කියලා. සඳුදා උදේ බෝඩ් කෑල්ල හාල් කිලෝව රු.98 කියලා ලියාගෙන කඩේ අරිනකොටම මහත්තයෙක් ඇවිල්ලා හාල් ඉල්ලුවා. මම හාල් කිලෝවක් දීලා, දීපු රුපියල් සියයට ඉතුරු සල්ලි රුපියල් දෙකකුත් දුන්නා.’’ ඉතිං ඊට පස්සේ හාල් රු.98 කියල බෝඩ් එක හාල් ගෝනියේ ගැහුවද? මොන පිස්සුද මිනිහා හාල්ටික පොලිතින් උරයක් අරන් සීල් තිබ්බා. ෆෝන් එකෙන් කාටද කත කළා විතරයි, පොලිසියයි, පාරිභෝගික අධිකාරියේ බැටෑලියන් එකයි මීමැස්සෝ වගේ කඩේ පිරුණා. මට හාල් ගන්න දීපු රුපියල් සීයත් උදුර ගත්තා. එවලේම උසාවියට එන්න දිනේ දාපු කොළයක් දුන්නා. කොළේ පිටිපස්සෙ මොබයිල් නොම්මරේ ලියලා දුන්නා. කෝල් එකක් දෙන්න කියලා! ජරාවක් ගන්න වෙන්නැති. ඉතිං ජරාව කීයක් දීලද නඩු නොගිහිං බේරුණේ? මම කතා කරන්න ගියේ නෑ පාරිභෝගික අධිකාරියේ සත්තුත් එක්ක. දඩ ගෙවනවා තියා දැන් කඩකුලී දෙන්නෙත් අමාරුවෙන්. මං උසාවි ගියා. ලෝයර් කෙනෙක් ඇල්ලුවේ නැහැ. නුගේගොඩ උසාවියේ රු. 7500ක් දඩ ගැහුවා. අපේ හාල්කඩ කොළඹ ඩෑම් ස්ට්‍රීට් එකෙත් තියෙනවා. කොළඹ නම් ගහන්නේ රු. 2000 ක දඩයක්. කෝට්ටේ ජුබිලි කණුව, නුගේගොඩ, මහරගම, බොරැලැස්ගමුව, හැම පැත්තේම කඩකාරයෝ උසාවි ඇවිල්ලා හිටියා. බාගදා මගේ හිතේ කෝටි 3 කට වඩා සල්ලි එකතු වෙන්න ඇති. උදේ එකොළහට නඩුව ඉවරයි. දඩ ගෙවන්න හවස තුන වෙනකම් පෝලිමේ ඉඳලා පණගියා. එතකං කඩෙත් වහලා. එතැනත් ඉතින් අපිට පාඩුම තමයි!’’ මේ පසුගිය අඟහරුවාදා ජුබිලිකණුවේ හාල් අලෙවිකරන වෙළෙඳසලේ හිමිකරුගේ හැඟුම්බර ප්‍රකාශය තවමත් කන් දෙකේ නෑසී නොනැසී ප්‍රතිරාව දෙමින් සවනත වැකෙන්නේ ඒ හඬේ වූ හැඟුම්බරභාවය නිසාත් නොනවත්වා තම හිතේ තිබූ ආවේගයට ආවේගශීලීව අදහස් ප්‍රකාශ කිරීමත් නිසා විය යුතුය. පාරිභෝගික අධිකාරිය සුළු ව්‍යාපාරිකයාට නම් නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නේ ගැසට් එකේ තීන්ත වේළෙන්නටත් පෙරය. හාල් මිල අද සමාජයේ වැදගත්ම මාතෘකාවක් වී ඇත. එය වැදගත් මාතෘකාවක් නොවනු ඇත්තේ ‘බත් නොකන’ සමාජයක් තුළ පමණකි. හාල් අපේ රටේ කොතරම් වැදගත් දේශපාලන තීන්දු ගත්තා දැයි දේශපාලන ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. හාල් සේරුවක මිල සත ගාණකින් ඉහළ යාම නිසා පිකටිං - හර්තාල් ඇති වූ යුග මෙන්ම හාල් මිල මෙන්ම නොමිලේ හාල් සේරු පිටින් ඇදබාන්නට ආණ්ඩු පෙරළූ යුගය මෙරට දේශපාලනයේ තිබුණ බව අද කාටත් අමතකය. වරක් චන්ද්‍රිකා මැඩම් මෙරට ජනතාවට දවල්ට රුවන්වැලි සැයක් වැනි බත් කන්දක් ගිල දැමීම ගැන බැණ වැදුණේ මෙසේ ය. ‘‘දැන් බලන්න ලංකාවේ මිනිස්සු දවල්ට රුවන්වැලි සෑයක් වගේ බත් කොතක් ගිලලා නිදාගන්නවා. රජයේ සේවකයෝ නිදිකිරා වැටෙනවා. ඒ වගේද යුරෝපියන් කන්ට්‍රිස්වල, දවල්ට පොඩි බත් එකක් කාලා මැරීගෙන වැඩ කරනවා.’’ චන්ද්‍රිකා මැඩම් කවදාවත් හාල් අඩු කරන බව කිව්වේ නැත. ඇයහත් පොළේ දිව්රා කිව්වේ පාන් ගෙඩිය රුපියල් 3.50ට දෙන බවය. කිව්ව වගේම උන්දෑ පාන් ටික කලක් රු. 3.50 ට දුන්නේය. නමුත් ඇය තම පාලන කාලයේදී ලංකා ඉතිහාසය පුරා පැවති පාන් පාලන මිල අහෝසි කොට පාන්ගෙඩියේ මිල රුපියල් පනහ හැටවනතුරුත් දෙව්ලොව යන ලෙස කටයුතු සලසා ගෙදර ගියේය. චන්ද්‍රිකාගේ මෑණියන් වූ සිරිමාවෝ මැතිනියගේ 70-77 යුගයේ ප්‍රසිද්ධ පොල්ලක් නම් ‘හාල්’ පොලුය. 1982 දී ජේ.ආර්. සමග සිරිමාවෝ වෙනුවෙන් සටන් වැදුණු හෙක්ටර් කොබ්බෑකඩුව නම් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂකයාට එජාපයේ කෙසෙල්වත්තේ කිසිවකුට අපහාස කරන්නට නොදත් සත් ගුණවත් ප්‍රේමදාස බැතිමතා හැඳින්වූයේ මෙසේ ය. හාල් පොල්ල මිරිස් පොල්ල දාපු බිල්ලා කොබ්බැකඩුව කොයි ආණ්ඩුව හාල් මිල පාලනය කරන්නට පියවර ගත්තත් කිසිම ආණ්ඩුවක් බත්පතේ නොහොත් බත් පාර්සලයේ මිල පාලනය නොකිරීම මෙරට වෙළෙඳපොළ තුළ දැකිය හැකි ප්‍රහේළිකාවකි. අපි කඩෙන් ගෙනැවිත් කන බත් පතේ වැඩියෙන්ම ඇත්තේ බත් විනා අන් කිසිවක් නොවේ. එහි ඇති වෑංජන කීපය හැන්දකින් බෙදුවාද නැතිනම් ස්ප්‍රේගන් එකට දමා යන්තං ස්ප්‍රේ කළා දැයි සිතාගත නොහැක. බත් පතට මාළු කපන ගොයියා නම් විශ්වකර්මයකු විය යුතුය. මක්නිසාද ඇඟිල්ල කපා නොගෙන මාළු කෑල්ල කපා ගන්නේ කෙසේ දැයි සිතා ගත නොහැක්කකි. පසුගියදා හාල් මිල ඉහළ යැමටත් පෙරම එළවළු මිල අහස උසට ඉහළ ගියේය. රටලූනු මිල සිතාගතවත් නොහැකි විය. හින්දි නළු අක්ෂේ කුමාර්ගේ මාමණ්ඩි රාජේෂ් කන්නාය. ඇගේ දියණිය ට්වින්කල් ඛන්නා නොහොත් ආක්ෂේ කුමාර්ගේ පවුලය. පසුගියදා ආක්ෂේ කුමාර් තම පවුලට වටිනා කරාබු ජෝඩුවක් පරිත්‍යාග කළාය. එය සාදා තිබුණේ රටලූනුවලිනි. හාල් මිලත්, එළවළු මිලත් හිටු කියා ඉහළ යද්දී අපේ හෝටල් හිමියන් තම හිතුමතේ බත්පතේ මිල ඉහළ දමන්නට විය. සාමාන්‍යයෙන් උදේ කැකුළු බත් එකක් මේ මිල ඉහළ යාමට පෙර පැවතියේ රු. 60 ත් 80 ත් අතරය. දැන් රුපියල් සියය ඉක්මවා එකසිය දහයත් පසුකරමින් සිටී. දවල් කෑම වේලක් පැවතියේ එළවළු රුපියල් 100, බිත්තර රුපියල් 120, මාළු රුපියල් 130, කුකුළු මස් රුපියල් 150, ඌරුමස් සහ හරක් මස් රුපියල 180 ත්, 200 ත් අතරය. දැන් බොහෝ හෝටල්වල මේ දවල් බත් පතේ මිල රුපියල් දහයේ සිට තිහ දක්වා වැඩිකර ඇත්තේ මෙරට බත් පතට පාලන මිලක් නියම කොට ගැසට් එකක් ගහන්නට කිසිවකුට වුවමනාවක් නැති නිසා විය යුතුය. එළවළු මිල වැඩිවීමත් සමග සෝයාමීට් සහ ග්‍රීන්පීස් එළවළු බවට පත් විය. බත්පත සමග පපඩම්, මිරිස් කරල් හා රසම් දෙන හෝටලයක් දැන් සොයා ගැනීම සිතා ගැනීමටවත් බැරි අපහසු කටයුත්තකි. ගිනිදවාලේ තාච්චිවලට තෙල් දමා බදින ‘රයිස්’ නමින් හඳුන්වන බත්පත උඩගියේ එය තාච්චියට දමා උඩ දමන රයිස් බාස්ටත් වඩා උසටය. දැන් ඒ රයිස්වලට දාන්නේ විකුණා ගන්න බැරි යාපනේ පැත්තේ කැරට් කීතු කීතුවලට ඉරාය. ලෝකයේ කොහේවත් නැති බුරියානි ඇත්තේ ලංකාවේ ය. සුදු බතට කහවතුර ටිකක් මූලින්ම ඉහිනු ලැබේ. ඉන්පසු එයට උයන ලද හෝ බදින ලද කුඩා කුකුල් අණ්ඩක් හා තම්බන බිත්තරයක් එක්කරන්නේ මින්චි සම්බෝල තේහැඳි භාගයක්ද සමගය. සාමාන්‍යයෙන් රු.220 ට පමණ තිබූ බුරියානි කියන මේ කෑම දැන් රුපියල් 300 පසුකරමින් සිටී. එසේ නම් රු. 450 ට තිබුණ එළුමස් බුරියානිය හා රු. 600 ට තිබුණු වටුමස් බුරියානියේ නව මිල කොපමණ දැයි ඔබට සිතාගත හැකිවනු ඇත. මෙරට පොදු ජනතාව කන බත්පතට පාලන මිලක් නියම කිරීම අභිනව ජනාධිපතිවරයා වහාම ගත යුතු ජනහිතකාමී පියවරකි. ඊටත් කලින් කළ යුත්තේ මෙරට හංදිවල ඇති කාඩකාමරවල කුලිය පාලනයට ක්‍රමවේදයක් සැකසීමයි. ඊට හේතුව ඔබ රු. 150 ට බත් පතක මිලදී ගතහොත් එහි රු. 40 කට වඩා ඇත්තේ කඩකුලිය වන නිසාය. ඇතැම් හෝටල් හිමියන් කඩකුලිය ලෙස දිනකට රුපියල් 3000 සිට 6000 දක්වා ගෙවන අවස්ථා දැකගන්නට ඇත. කෙසේ නමුත් හාල්මිල, එළවළු මිල, ගෑස්මිල, සේවක පඩිනඩි, ගොඩනැගිලි කුල ආදී සියල්ල දම්වැලක පුරුක්මෙන් නියාමනයට ලක්වී බත්පතට පාලන මිලක් එක් වූ දාට මර්සලින් ජයකොඩි පියතුමා සිටියා නම් ‘මගේ නත්තල දුගියා බත් කනදායි’ කියන්නට සිදුවන්නේ නැත. වජිර ලියනගේ
 

More News..