brand logo

හලාවත වැවිලි සමාගමට අයත් වතු වල සේවකයින් අඛණ්ඩව වැඩ වර්ජනයක නිරත වීමට සුදානමක්

03 January 2019

තම ඉල්ලීම් ලැබෙන තුරු හලාවත වැවිලි සමාගමට අයත් වතු වල සේවකයින් අඛණ්ඩව වැඩ වර්ජනයක නිරත වන බව ලංකා වතු සේවා සංගමයේ සතර කෝරලයේ ශාඛා ලේකම් ගීතාණි බදුරලිය මෙනවිය ප්‍රකාශ කළාය. 2017 වර්ෂය සදහා හිමි ප්‍රසාද දීමනා,2018 වර්ෂය සදහා හිමි කාර්ය සාධක දීමනා සහ එම වර්ෂයට අයත් ලබා නොගත් නිවාඩු සදහා ගෙවනු ලබන දීමනා කඩිනමින් ලබා දෙන ඉල්ලමින් හලාවත වතු සමාගමට අයත් සේවකයින් දෙවැනි දිනටත් 03 වැනිදා පෙරවරුවේ සිට විරෝධතා ව්‍යාපාරයක නිරත විය. හලාවත - පුත්තලම මාර්ගයේ පිහිටි හලාවත වැවිලි සමාගමටඑ අයත් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වුණි. හලාවත වැවිලි සමාගමට වතු කොට්ඨාස 08 ක වතු 83 ක් හිමිව ඇත. එම වතු වල පොල් සහ අතුරු භෝගද වගා කර ඇති අතර,ගව සහ බැටළුවන් කර්මාන්තයද පවත්වා ගෙන යයි. ඇතැම් වතු වල කොප්පරා නිෂ්පාදනය සිදු කරමින් සිටී.මෙම වතු වල ස්ථීර සහ අනියම් ලෙස සේවකයින්  900 කට අධික සේවකයින් පිරිසක් සේවය කරන බව ලංකා වතු සේවා සංගමය සදහන් කරයි. තමන්ට හිමි දීමනා ලබා දෙන ලෙස ඉල්ලමින් හලාවත වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණි එහි සේවකයින් පසුගිය 02 වැනිදා පළමු වරට විරෝධය පළ කරන ලදි. එම අවස්ථාවේදී කම්කරු දෙපාර්තමේන්තුවේ හලාවත සිහිටි සහකාර කොමසාරිස් කාර්යාලයේ  නිලධාරීන් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර යන මහත්වරුන්ද පැමිණ පාලනාධිකාරිය සමග සාකච්ඡා පවත්වන ලද නමුත් විසදුමකින් තොරව එය අවසන් විය. 03 වැනිදා පෙරවරුවේ නැවත වරක් සේවකයින් පැමිණ හලාවත වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදි. ඒ අතර තුර කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කළ විධායක නිලධාරීන්ට ඔවුන් තම විරෝධය පළ කරන ලදි.පොලීසිය මැදිහත් වී විධායක නිලධාරීන්ට කාර්යාලයට පිවිසීමට අවස්ථාව ලබා දෙන ලදි. එම අවස්ථාවේදී පොලීස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරුද ඇති විය. ඒ අතර ලංකා වතු සේවා සංගමයේ නිලධාරීන්ද,හලාවත වැවිලි සමාගමේ නිලධාරීන් හා හලාවත සහකාර කම්කරු කොමසාරිස් වරයා අතර සාකච්ඡාවක් පවත්වන ලද නමුත් එයද අසාර්ථක විය.හලාවත සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයේදී එම සාකච්ඡාව පවත්වන ලදි. විරෝධතාවයට එක්ව සිටි පිරිස් මහ මග සිට තම ආහාරය ලබා ගන්නා ආකාරයද දක්නට තිබුණි. අනතුරුව විරෝධතාකරුවන් අතරට පැමිණ ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන සභාපති චතුර සමරසිංහ මහතා විසින් වත්මන් තත්ත්වය පැහැදිලි කර දෙන ලදි. පසුව විරෝධතාකරුවන් සහ ලංකා වතු සේවා සංගමයේ නිලධාරීන් අතර හලාවත පිහිටි උත්සව ශාලාවක සාකච්ඡාවක්ද පවත්වන ලදි. තමන්ට හිමි දීමනා ලැබෙන තුරු අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට එම සාකච්ඡාවේදී තීරණය විය. ඒ අනුව 04 වැනිදා සිට හලාවත වැවිලි සමාගමට අයත් සියළුම වතු වල සේවකයින් සේවයෙන් ඉවත් වීමටත්,කාර්යාල සේවකයින් කාර්යාල සේවයට වාර්තා නොකිරීමටත් තීරණය කරන ලදි. විරෝධතාවය පැවති ස්ථානය සහ අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබූ අතර, කැරළි මර්ධන ඒකකයද කැදවා තිබුණි. ජුඩ් සමන්ත    
 

More News..