brand logo

හරීන්ට වඩිවේල්ට වතු කම්කරු කොංග්‍රස් ගිණුම් තහනම්

03 June 2020

ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයට අයත් බැංකු ගිණුම්වලින් ණය මුදල් ලබා ගැනීම හා චෙක්පත් අත්සන් කිරීම වළක්වාලමින් එම වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ එහි ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් යන අය වෙත කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර විසින් ඊයේ (03) වාරණ නියෝගයක් නිකුත් කළාය. අදාළ වෘත්තීය සමිතියට සම්බන්ධ මැටිවල ගෙදර ගුණතිලක සහ සිවානුරාසා පාක්‍යනාදන් යන සාමාජිකයන් දෙදෙනකු ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු, විනිසුරුවරිය විසින් මේ මස 17 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ. ඊට අමතරව එම වෘත්තීය සමිතියට සම්බන්ධ වාහන දෙකක් පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම වළක්වාලමින් එහි ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් වෙත තවත් වාරණ නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කළේය. පැමිණිලිකරුවන් නීතිඥ දිනේෂ් විදානපතිරණ මගින් අධිකරණය හමුවේ ගොනු කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබෙන්නේ අදාළ වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ ලේකම් ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් යන අය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මේ වන විට සමගි ජන බලවේගය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවයි. අදාළ වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන වඩිවේල් සුරේෂ් එම වෘත්තීය සමිතියට අයත් බැංකු ස්ථාවර තැන්පතු මුදල්, මුදල් කමිටුවේ අනුමැතියකින් තොරව ඇපයට තබා එක්තරා මූල්‍ය ආයතනයකින් රුපියල් මිලියන 3ක ණය මුදලක් ලබාගෙන ඇති බවත් ඊට අමතරව ඔහු සමිතියට අයත් වාහන දෙකක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගනිමින් සිටින බවත් පැමිණිලිකරුවන් සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..