brand logo

හරීන්ගේ ප්‍රකාශය මනාඃකල්පිතයි

21 September 2020

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් හෝ රදගුරුතුමන්ලා හෝ කිසිදු කතෝලික පියතුමකු පෙර දැනුවත්වීමකින් නොසිටි බවත්, හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කර ඇත්තේ බාල මනඃකල්පිත ප්‍රකාශයක් බවත් කොළඹ අගරදගුරු පදවිය නිවේදනය කර සිටී. මැක්ස්වල් සිල්වා, ඇන්තනී ජයකොඩි සහ ඇන්ටන් රංජිත් යන සහායක රදගුරුවරුන් විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ. එම නිවේදනයේ මෙසේද දැක්වේ. ඉකුත් දිනක හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්ති අසා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද, කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා වන අපි ද සමස්ත පූජක සංසදය ද බලවත් සේ කම්පනයටත්, කැලඹීමටත් පත්වූ බව ප්‍රකාශ කරමු. මන්ත්‍රීවරයා පදනම් විරහිත ප්‍රකාශයක් කළා මෙන් අගරදගුරුතුමන් වෙත එල්ල කළ අසත්‍ය ප්‍රකාශය තරයේ හෙළා දකිමු. අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සිරිත් පරිදි පාස්කු රාත්‍රි​ මෙහෙය අප්‍රේල් මස 20 වන සෙනසුරාදා සිය ආසන දෙව්මැදුර වන කොළඹ කොටහේන සාන්ත ලුසියා දෙව්මැදුරේදී සිදුකළහ. බෝම්බ ප්‍රහාරය සිදුවූ අප්‍රේල් 21 වන ඉරුදින උදෑසන ද උන්වහන්සේ විසින් අගරදගුරු නිවසේදී දිව්‍ය පූජාව පවත්වන ලදී. කොළඹ කොච්චිකඩේ ශා.අන්තෝනි දෙව්මැදුරේ සිදුවූ බෝම්බ පිපිරීම පිළිබඳව උන්වහන්සේට පළමුවෙන් ආරංචි වන්නේ පාස්කු ඉරුදින උන්වහන්සේ සිදුකළ මෙම දෙවන දිව්‍ය පූජාව නිම වී සිය කුටිය වෙත පෙරළා පැමිණි පසුය. සිද්ධිය සැල වූ වහාම ​උන්වහන්සේ විපතට පත් ජනතාව බැලීමටත් තමන්ට හැකි අන්දමින් ඔවුන් සැනසීමටත් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර වෙත ගියේ සිය සහයක රදගුරුතුමන් වන අති උතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණන්ද කැටුවය.
 

More News..