brand logo

හරින් ප්‍රනාන්දුගේ ඕලෙවල් සහතිකය හමුවෙයි

06 March 2021

කලකට ඉහතදී මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ බූරුවෙක් සිටියේය. උගේ නම ‘ඩිංකි’ ය. ඌ හුරතලේට හැදුවේ එකල ශාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති වූ දොන් පීටර් පියතුමාය. එතුමාණෝ ඩිංකි ගැන පොතක්ද ලීවෝය. එය ජනප්‍රියත්වය අතින් ඒ පොත දෙවැනි වන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘මඩොල්දුව’ ට පමණි. ඩිංකි පොතේ එක් තැනක ඌ ගැන අපූරු සටහනක් ඇත්තේය. එක්තරා දිනයක ශාන්ත ජෝසප් විද්‍යාලයේ බොන්ජින් ශාලාවේ විදුහල්පතිවරුන් රැස්වීමක් පැවැත්වීය. ඊට ලංකාවේ සිව් දෙසින්ම විදුහල්පතිවරුන් පැමිණ සිටියහ. එය මෙහෙයවනු ලැබුවේ දොන් පීටර් පියතුමා විසිනි. මෙසේ සියල්ලන්ම කතාබස් කර සිටින අතරතුර එක්වරම ‘ඩොක්... ඩොක්.... ඩොක්..... ඩොක්....’ කියා අඩි ශබ්දයක් ඇසෙන්නට විය. සියල්ලන්ම සිතුවේ තවත් විදුහල්පතිවරයෙක් ප්‍රමාද වී රැස්වීමට පැමිණෙන බවයි. ඒ නිසා ඔහු පැමිණෙන තෙක් මොහොතකට සියල්ලන්ම නිශ්ශබ්ද විය. ඒත් අඩි ශබ්දය නැවතුනද රැස්වීම් ශාලාවට පැමිණි අමුත්තෙක් සිටියේ නැත. ඒ නිසා සියල්ලන්ම ශාලාවේ දොර දෙස එබිකම් කළෝය. මෙලෙස ‘ඩොක්... ඩොක්...’ යන අඩි ශබ්දය තියා පැමිණ සිටි අමුත්තා වූයේ ඩිංකිය. මේ ඩිංකිගෙන් පසු ශාන්ත ජෝසප් විදුහලේ බූරුවෙක් සිටියේ නැත. ඩිංකි ගැන අපට මතක් වූයේ, මරදානේ ශාන්ත ජෝසප් විදුහලේ ආදි සිසුවෙක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතා මවන්නෙක් බවට පත්ව සිටීම නිසාය. ඔහු සමගි ජනබලවේගයේන් පත්කළ මන්ත්‍රී හරින් ප්‍රනාන්දුය. ඔහු 1984දී විදුහලට යන කාලේ ඩිංකි හිටියේ නැත. ඩිංකි සේම හරින් ප්‍රනාන්දුත් විදුහලේ ජනප්‍රිය චරිතයකි. ඔහු ඉස්කෝලේ ජනප්‍රිය වූයේ ඉගෙන ගැනීමෙන් නොව ක්‍රීඩාවෙනි. මේ දිනවල හරින්ගේ නම කරලියට ආවේ ‘හරින් ඕලෙවල් ෆේල්’ යන කතාව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීම නිසාය. ඊට පසුබිම් වූ කතාව මෙසේය. ඉකුත් විසි තුන්වැනිදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී ඔහු කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. ‘‘ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ ඕලෙවල් පාස් උන් කවුද, ඕලෙවල් ෆේල් උන් කවුද කියලා කියන්න.” ඇමැති නිමල් ලන්සා හරින්ට උත්තර දුන්නේ ඔහුත් ඕලෙවල් ෆේල් යැයි කියමිනි. ‘‘ඔබතුමා ඕලෙවල් පාස්ද කියලා කියන්න. නෑ, ඕලෙවල් ෆේල්. ශාන්ත ජෝසප් විද්‍යාලයට ගිහිල්ලා බැලුවොත් හරින් මන්ත්‍රීතුමාගේ අධ්‍යාපන සුදුසුකම තියෙන්නේ ඕලෙවල් ෆේල් කියලා.” ඊට උත්තර දුන් හරින්, සිය අධ්‍යාපන සුදුසුකම් විසිහතර වැනිදා සභාගත කරන බවට කීවේය. නමුත් සුපුරුදු පරිදි විසිපස්වැනිදාත් පාර්ලිමේන්තුව රැස්වූයේය. සියල්ලන්ම පුන පුනා බලා සිටියේ මන්ත්‍රී හරින් සිය අධ්‍යාපන සුදුසුකම් සභාගත කරන්නේද කියාය. නමුත් එදත් සුපුරුදු ලෙස වාද විවාද මැද පාර්ලිමේන්තුව පැවැත්වුණි. එමෙන්ම කිසිදු ලියවිල්ලක් හෝ මන්ත්‍රීවරයා විසින් සභාගත කළේද නැත. ඒත්, පසුගිය විසි පස්වැනිදා හරින්ගේ මුහුණු පොතෙන් හා හා පුරා කියා ඔහුගේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සහතික සමාජ ගත කළේය. එයත් කෙටි සටහනක් තබමින්ය. ‘‘මේ තියෙන්නේ මගේ උසස් පෙළ ප්‍රතිඵල. මම එතරම් දක්ෂ ශිෂ්‍යයෙක් නෙවෙයි. අනික, මට ඔබට බොරු කරන්න ඕනෙත් නැහැ. ඇත්තටම, මම එක විෂයක්වත් අසමත් වෙලා නැහැ කියලා සහතික වෙනවා. ඒ නිසා ඔබේ මන්ත්‍රීවරුන්ගෙනුත් අහන්න ඔවුනොවුනුත් ‘පාස්’ ද කියලා.” ඒ ගැන අපි හරින්ගෙන් අධ්‍යාපන ප්‍රතිඵල ඉල්ලූ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාගෙන් ඇසූ විට ඔහු උත්තර දුන්නේය. ‘‘මම මාධ්‍යවලට වැඩිය කතා කරන්න කැමති නැහැ. අනික වාදවිවාදවලට යන්නත් මගේ කිසිම කැමැත්තක් නැහැ. ඒවා අනික පාර්ලිමේන්තුවේ කියන කතා.” සමාජ මාධ්‍යවල හරින් ෆේල් යැයි කියමින් පෝස්ටු හදමින්, අදහස් දැක්වූවේ ඉරාජ් වීරරත්නය. ඇත්තටම හරින් ෆේල් කියා දන්නවාදැයි අපි ඔහුගෙන් විමසුවෙමු. ‘‘ඇත්තටම මම එයාගේ ප්‍රතිඵල මොකක්ද කියලා දන්නෙ නැහැ. ඒත් ඉතින් එයාගේ වැඩවලින්ම පේනවනේ ඕලෙවලුත් ෆේල් ඇති කියලා” යැයි ඉරාජ් වීරරත්න කියන්නේය. හරින් ඉදිරිපත් කළ විභාග සහතිකය අනුව සාමාන්‍ය පෙළ විෂයන් අටම ඔහු සමත්ය. උසස් පෙළටත් වාණිජ අංශයෙන් ඉදිරිපත් වී වැඩ හතරම ගොඩදා ගැනීමට ඔහුට හැකි විය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සටහනේ ඔහුගේ ආගම වූයේ රෝමානු කතෝලික දහමයි. ඒත් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ ඔහු බෞද්ධයකු බවයි. මීට පෙර හරින් පවසා ඇති ආකාරයට ඔහුගේ මව වූ නිමල්කා ද මැල් බෞද්ධය, තාත්තා නිහාල් ප්‍රනාන්දු කතෝලිකයෙකි. නිහාල් ප්‍රනාන්දුගේ පියා හෙවත් හරින් ප්‍රනාන්දුගේ සීයා ව්‍යාපාරික ලොව ප්‍රකටව සිටියේ ‘කරවල රාජා‘ ලෙසය. බොනිපස් ප්‍රනාන්දු වූ ඔහු පිටරටින් ලංකාවට මුලින්ම කරවල ගෙනා වෙළෙන්දා විය. හරින්ගේ ප්‍රතිඵල ගැන සැකයක් තිබුණි. එයට බලපෑ හේතු ගණනාවක්ම විය. ඒ අතර පළමු ගැටලුව වූයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සටහනේ තිබූ ව්‍යාකරණ දෝෂය. එනම්, ‘ඉංග්‍රීසි සාහිත්‍යය’ යන වචනයේ ‘සාහිත්‍යය’ යන කොටස වැරදියට සටහන් කර තිබීමයි. එහිදී, ‘English Literature’ වෙනුවට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සටහනේ සටහන්ව තිබුණේ ‘English Litreture’ යනුවෙනි. හරින් ප්‍රනාන්දු රජයේ විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය වෙනුවට අද ඊයේ පාසලෙන් ගත් සහතිකයක් ඉදිරිපත් කිරීම බොහෝ දෙනාගේ සැකයට තුඩු දුන්නේය. මේ පිළිබඳව අප මුලින්ම තොරතුරු විමසා සිටියේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශෙහාන් ප්‍රනාන්දුගෙනි. ඔහු කිවේ, දේශපාලනය කිරීම හෝ දේශපාලනය ගැන කතා කිරීමට පවා තමා අකමැති බවයි. ඒ නිසා හරින්ගේ සහතික පිළිබඳවත් තමා කිසිවක් නොදන්නා බවත් අක්ෂර දෝෂ නම් ඕනෑම පාසලක සිදුවිය හැකි බවත් ඔහු කීවේය. මීට ටික දිනකට පෙර තමාටත් පාසලෙන් එවූ ලිපියකත් අක්ෂර දෝෂ තිබී හමුවී නැවතත් එය පාසල වෙත හරවා යැවූ බව ඔහු කීවේය. කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් ලේඛනයක අක්ෂර දෝෂ තිබීය හැකිය. නමුත්, දරුවකුගේ අනාගතය තීරණය කරන සහතිකයක එවැනි දෝෂ තිබිය හැකිද? ඊට හේතුවන්නේ විදුහල්පතිවරයා අත්සන් කිරීමට පෙර ඉස්කෝලේ තවත් දෙතුන් දෙනෙක් ප්‍රතිඵල පරීක්ෂා කරන නිසාය. මතු නොව සුදදාගේ කාලේ සිට පැවත එන කොළඹ පිහිටි ප්‍රසිද්ධම ඉංග්‍රීසි මාධ්‍ය පාසලෙන්ම එවැනි වැරැද්දක් විය නොහැකි බව සිතීම සාධාරණය. මේ නිසා සමහරු කල්පනා කරන්නේ හරින් ඉදිරිපත් කළ සහතික බොරු බවය. මේ නිසාම අප යොමු වූයේ සහතිකයේ සත්‍ය තත්ත්වය පිළිබඳව දන්නා එකම තැනැත්තා වන ශාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති රංජිත් අන්ද්‍රාදි පියතුමා වෙතටයි. ඔහු පැවසුවේ, හරින් ප්‍රනාන්දු පැමිණ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත්‍රයන් ගත් බවයි. එයට විදුහල්පතිවරයා වශයෙන් සිය අත්සන යෙදූ බවත් රංජිත් අන්ද්‍රාදි පියතුමා කීවේය. විදුහල්පති පියතුමා අත්සන් කළ විභාග සහතිකයේ හැටියට හරින් ප්‍රනාන්දු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පාස්ය. හරින් මුලින්ම පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ 2010 වසරේ දීය. නමුත්, ඔහුටම කියා අමාත්‍යංශයක් ලැබෙන්නේ 2015 ආණ්ඩු පෙරළියත් සමගයි. ඒ විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන, ක්‍රීඩා වැනි අමාත්‍යාංශයන්ය. පසුව, හිටි හැටියේම ගුගල් බැලුන් ව්‍යාපෘතියත් හරින් වෙතම පැවරුණි. එසේ ඔහුගේ හිස මතට පැටවුණු ගුගල් බැලුනය අවසානයේදී ඔහුගේ ඔලුවටම කඩා වැටුණේය. මේ ලෙස ගුගල් බැලුන් උඩ යැවූ හරින්ට සාමාන්‍ය පෙළ විද්‍යාව සහ ගණිතය සඳහා ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයකි. අනෙක් අතට ඔහු පාර්ලිමේන්තුවේ කාරක සභා විස්සකට අධික සංඛ්‍යාවක සාමාජිකත්වය දරා ඇත්තේය. ඛනිජ තෙල් කර්මාන්ත කටයුතු පිළිබඳ, ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ, කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ, අධිකරණ කටයුතු පිළිබඳ, ඉඩම් සහ ඉඩම් සංවර්ධන කටයුතු පිළිබඳ, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන කටයුතු පිළිබඳ, නීතිය හා සාමය පිළිබඳ, පොදු ව්‍යාපාර පිළිබඳ, මුදල් හා ක්‍රම සම්පාදන පිළිබඳ සහ සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ උපදේශක කාරක සභා ඒවා අතරින් කිහිපයකි. එහෙත් ඉස්කෝලේ විභාග සහතික හා චරිත සහතිකය ගැන සොයා බලද්දී නම් තේරෙන්නේ ඔහු ක්‍රීඩාවට හැර අනෙකුත් වැඩවලට දක්ෂයෙක් නොවන බවය. 1987දී ශාන්ත ජෝසප් විද්‍යාලයට ඇතුළු වූ ඔහු එදා සිට අද දක්වාම එහි කැපී පෙනෙන ක්‍රීඩකයෙක්ව සිටියේය. එකල ඔහු ශාන්ත ජෝසප් විද්‍යාලයේ අංක එකේ රග්බි ක්‍රීඩකයාය. පිහිනුම් ශුරයෙකි. ඔහු සමස්ත ලංකා දහතුනෙන් පහළ පිහිනුම් තරගයෙන් දෙවැනි තැන දිනූ සිසුවෙකි. විදුහලේ රග්බි ගැන කතා වන ඕනෑම තැනක අදටත් හරින් ප්‍රනාන්දුගේ නම කියවෙන්නේය. ඔහු පාසලේ දහතුනෙන් පහළ, පහළොවෙන් පහළ, දාහතෙන් පහළ මෙන්ම දහනවයෙන් පහළ රග්බි කණ්ඩායම නියෝජනය කළේය. එපමණක් නොව, පහළොවෙන් පහළ ශ්‍රී ලංකා රග්බි පිලද නියෝජනය කිරීමටත් හරින් ප්‍රනාන්දුට වරම් ලැබීය. පසුව, ඌව පළාතේ රග්බි කණ්ඩායමේ නායකයාව සිටිමින් 2015 වසරේදී පාර්ලිමේන්තුවද නියෝජනය කළේය. හර්ෂණි දිසානායක
 

More News..