brand logo

හර්ෂණ, හරීන්, සුජීව, අජිත් රනිල්ට අමුවෙන්ම කියයි

11 January 2020

පසුගිය සතියේ ‘සිරිකොත’ තත්ත්වය නම්, ඉතාම දරුණු විය. ඒ පසුගිය  බ්‍රහස්පතින්දා පැවැත්වුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී යළිත් වතාවක්  ‘නායකත්ව අර්බුදය’ සම්බන්ධ කාරණාව ඇදුණු නිසා ය. මෙහිදී ඉදිරි මහ  මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා කරු-සජිත්-රනිල් නායකත්ව  මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ඉදිරිපත් විය. සුපුරුදු පරිදි  එම යෝජනාව පැමිණියේ ‘රනිල් පාර්ශ්වයෙනි’. එහෙත් සජිත් පාර්ශ්වයේ අය දිගින්  දිගටම ඒ වෙනුවෙන් විරෝධය ඵල කළහ. ‘‘මේ මුළු රටම ඉල්ලන්නෙ සජිත්...  ඒක ඔබතුමයි අපි ඔක්කොමයි දන්න දේ... ඉතිං මොකට ද තවත් නායකත්ව මණ්ඩල පත් කර  කර ඉන්නෙ... අනික කොහෙද එහෙම පක්ෂ මෙහෙයවන්නෙ... එක නායකයයි අපට ඕන... ඒ  තමයි සජිත්... ඔබතුමාටයි, කරුටයි පුළුවන්නෙ උපදේශකයො හැටියට සජිත්ට සහයෝගය  දෙන්න...’’ මෙහිදී හර්ෂණ රාජකරුණා කීවේ ය. ‘‘මම නං වෙන  කවුරුවත් එක්ක ඊළඟ ඡන්දෙ කරන්න ලෑස්ති නෑ... සජිත් නායකයා නොකළොත් මම නං  ඡන්දෙට වැඩ කරන්නෙත් නෑ... සජිත්ට දෙන්නෙ නැත්නං කෙළින්ම කියන්න... එතකොට  අපිත් තීරණයක් ගන්නම්...’’ හරීන් ද කීවේ ය. මෙහිදී සුජීව සේනසිංහ  මෙන්ම අජිත් පී. පෙරේරා ද රනිල්ගේ මූණටම දැඩි වාග් ප්‍රහාර එල්ල කරන්නට  පටන්ගත් අතර රනිල් මෙම සියලු වාග් ප්‍රහාර මැද වුවත්, ‘සුපුරුදු  නිහැඬියාවෙන්’ සිටියේ ය. ‘‘මම 10 වැනිදා රට යනවා... ආපහු 16 වැනිදා  මුණගැහෙමු... ඊට පස්සෙ සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගමු...’’ කිසිම  කලබලයකින් තොරව පසුපෙළින් ‘බැණුම් ඇසූ’ රනිල් අවසානයේදී කීවේ ය. මෙහිදී  16 වැනිදා හෙවත් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන රැස්වීමේදී ‘ඡන්ද  විමසීමකින්’ හෝ සජිත්ව පක්ෂ නායකයා කරවිය යුතු බවට ‘සජිත් පිළේ’ අය අතර මේ  වනවිටත් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ‘ජනරජයට’ වාර්තා වේ.
 

More News..