brand logo

හරක් සොරකමකට සැකපිට මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට

22 September 2022

වෑන් රථයක් සහ ලොරියක්ද පොලිස් භාරයට

ගවයන් සොරකම් කිරීමේ සිද්ධියකට සැකපිට පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙකු පෙරේදා (20 වැනිදා) පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පුත්තලම, සිරම්බිඅඩිය සහ ආරච්චිවිල්ලුව යන ගම්වල පදිංචිකාරියන් දෙදෙනෙකු පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. පසුගිය 01 වැනිදා සහ 06 වැනිදා යන දිනවල තම නිවස අසල ගාල් කර තිබූ ගවයන් කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් සොරකම් කර ඇති බවට කාන්තාවන් දෙදෙනා පොලිසියට පැමිණිළි කර ඇත. ඒ අනුව විමර්ශන සිදු කළ පොලිසිය සැකකාර නාගරික මන්ත්‍රිවරයාගේ රියැදුරුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත. ගව සොරකමේ සුල මුල අනාවරණය වී ඇත්තේ එම අවස්ථාවේදීය. සොරකම් කරන ලද ගවයන් ප්‍රවාහනයට යොදා ගත් වෑන් රථයක් සහ ලොරියක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකාර නාගරික මන්ත්‍රිවරයා පුත්තලම නගරය තුළ ගව මස් කඩයක් පවත්වා ගෙන යන අයෙකු බවට හදුනා ගෙන ඇත. •ජුඩ් සමන්ත - පුත්තලම
 

More News..