හරක් පැමිණිල්ලක් හුංගම පොලිසියේදී බෝම්බ චෝදනාවක් වෙයි
30 November 2020
හරක් පැමිණිල්ලක් හුංගම පොලිසියේදී බෝම්බ චෝදනාවක් වෙයි
30 November 2020
ගවයකු සොර ගත් බවට චෝදනා නගමින් තමන්ට හුංගම පොලිසියේ නිලධාරීන් කීප දෙනකු පහර දුන් බවත් නොකළ වරදක් කළැයි පොලිස් පොතේ ලියා ඊට බලහත්කාරයෙන් කන අත්සන ලබා ගත් බවත් තරුණ සේවා පාර, උදාගම, මුලන, හුංගම පදිංචි මල්ලිකාරච්චිගේ ධනුෂ්ක උදය කුමාර (28) නමැති තරුණයකු පවසයි.
කුළි වැඩ කරමින් දිවි ගැට ගසා ගන්නා ධනුෂ්කව පසුගිය 28 වැනිදා හුංගම පොලිසියට කැදවා ඇති අතර එහිදී සිවිල් ඇදුමෙන් සිටි අයෙකු ඔහු පොලීසිය තුළට කැදවා නිල ඇඳුමිනි සැරසී සිටි නිලධාරියකු හා තවත් සිවිල් ඇඳුමිනි සැරසී සිටි අයකු හා එක්ව අමානුෂික ලෙස පහරදුන් බව කියයි. පහර දෙමින් තමා සන්තකයේ බෝම්බ ඇති බව පිළිගන්නා ලෙස බලපෑම් කර ඇත.
https://youtu.be/6soR9ssq2Q0
මේ අවස්ථාවේදී එම ස්ථානයට පොලිස් ස්ථානාධිපතිවරයා පැමැණ ඇති අතර පහරදුන් නිලධාරීන් එවිට එම ස්ථානයේ බලහත්කාරකමක් සිදු වූ බව ට ඇති සාක්ෂි සගවා ඇත. මෙහිදී ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ සැකකරුගෙන් කට උත්තරයක් ලබා ගෙන නිදහස් කර යවන ලෙසයි.
අදාල තරුණයා මේ වන විට අඟුනකොළපැලැස්ස රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර. රෝහල් පොලීසිය පැය 22කට පසු පැමිණ කුඩා කොල 5ක හා CR කොලයක විස්තරය ලියා අත්සන් ලබාගෙන ගොස් ඇති බව කියයි.
පසුගිය 25 වැනිදා රාත්රී 11.30 ට පමණ මෙම තරුණයා නිවසට පැමිණෙන විට කඹය කඩාගත් ගවයකු ඔහු ඉදිරියට පැමිණ ඇත. හිමිකරු සොයා භාරදීමේ අරමුණින් ගවයා බැඳ දමූ ඔහු ප්රදෙශයේ හරක් බලන්නන් දෙදෙනකු වූ සිතාර හා සජිත් නමැති අයට දුරකථනයෙන් අමතා ඇතත් ඔවුන් ඒ අවස්තාවේදී දුරකතනයට ප්රතිචාර දක්වා නැත. අවසන ඔහු ඔහුගේ ඥාතියකුවන කලු බාප්පා නැමැත්තාට කතා කොට ගවයා ගැන විමසා ඇති අතර ඔහුද එබදු ගවයකු ගැන නොදන්නා බව කියා ඇත.
අවසන ඔහු අයිතිකරු සොයා යෑමට ඉඩදී ගවයා ලිහා දමා ඇත.
පසුදා සජිත් ඔහුට දුර කථන ඇමැතුමක් ගෙන පෙරදා රාත්රියේ කතා කළේ මන්දැයි විමසා ඇත. එහිදී ධනුෂ්ක පවසා ඇත්තේ WA ලෙස හන ගසා ඇති ගවයකු හමු වූ බවත් ඌ ගැන විමසීමට ගත් බවත්ය.
එදිනම හුංගම පදිංචි හිච්චිකූරා නමැති අයකු පැමිණ ධනුෂ්කගෙන් හරකකු ගැට ගැසුවාදැයි විමසා ඇත. හිච්චිකූරාට ආරංචිය දී ඇත්තේ සජිත්ය. ධනුෂ්ක හිච්චිකූරාට සිද්ධිය පැහැදිලි කර, හරකා ලිහා දැමු බවත් හරකා හන්දිය පැත්තට ගිය බවත් පවසා ඇත. පසුදා ධනුෂ්ක පොලිසියට කැඳවා ඇත්තේ හිච්චිකූරා දැමු පැමිණිල්ලකට අනුවයි.
මේ වන විට එක්තැන් වී සිටින අම්මාත් සදාකාලික රෝගයකු වී සිටින බාල සොහොයුරකුත් ධනුෂ්කගෙන් යැපෙන අතර උද්ගත වී ඇති තත්ත්වය හමුවේ තමන්ට යම් අවැඩක් සිදු වුවහොත් සිය මවගේ මෙන්ම සොයුරාගේ ජීවිතද අවධානම් තත්ත්වයක පවතින බව ධනුෂ්ක කියයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අප හුංගම පොලිස් ස්ථානාධිපති ක්රිෂාන්ත රණසිංහ මහතා ඇමතීමට උත්සාහ ගත්තත් ඔහු දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
ධනුෂ්ක විසින් ලබාගත් නැතිවුන හරකාගේ ඡායාරූප