brand logo

හමුදා පුතුගේ මරණ සහතිකය ගන්නට නඩු කියන මවක්

02 February 2019

නන්දා මාලනීට සහ හේරත්ට වැඩිපුර දරුවන් සිටියේ නැත. හිටියේ පුතුන්ම දෙදෙනෙකි. වැඩිමලා කාංචන සඳකැලුම් ඉගෙනීමෙන් ඉස්සරහට යන ලකුණු පෙන්නුවත් බාලයා නදීර තේරෙන දා පටන් ඊට වඩා වෙනස් අදහස් දැරුවේය. නන්දා දෙදරුවන් ඇකයේ තබාගෙන අහසේ ඉර, හඳ, තරු ගැනත් මල්, සමනල්ලු, සුරංගනාවියෝ ගැනත් කී කතන්දර අතරේ නදීර වැඩ්පුර ආසා කළේ රට වෙනුවෙන් යුද්ධෙට ගිය විරුවන්ගේ වීරකතාවලටය. ඔහුටත් රට වෙනුවෙන් සටනට යන එවන් විරුවකු වෙන්නට ඒ නිසා පුංචි කාලයේ පටන් ආසාවක් විය. තේජාන්විත හමුදා නිල ඇඳුමක් ඇඟලෑමේ පුදුමාකාර ආසාවකින් ඔහු සිටියේය. කාංචන උසස්පෙළට ලියා නාවික හමුදාවට බැඳුණේය. නදීර ද සාමාන්‍ය පෙළ විභාගයට ලියා ඉගෙනීමට තිත තැබුවේ ඔහුගේ හිතේ වූ හමුදාවට බැඳෙන අරමුණෙනි. ලොකු පුතුගෙ තීරණයට කැමැති වුණත් පොඩි පුතුගේ තීරණයට නන්දා කැමැති වූයේම නැත. නදීරට වයස අවුරුදු දහනවයක් වෙද්දී ඔහුගේ අරමුණට යන්නට කෙසේ හෝ නන්දාගේ ආශීර්වාදය ලබන විට රටේ තිබූ යුද්ධය අවසන්වීත් අවුරුදු හතක්ම ගෙවී තිබුණේය. ඒ අනුව 2016 වසරේ දෙසැම්බර් 16 වැනි දින නදීර නිරීෂණ හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකා සේවයට බැඳුණේය. වලපනේ හරස්බැද්දේ සිටි නන්දාමාලනීලාගේ පවුල කිසිවෙකුටත් කරදරයක් නැත්තෝ වූහ. පාසල් ගුරුවරියක වූ නන්දා මාලනිත් ප්‍රාදේශීය සභාවේ වැඩ කළ හේරතුත් පුතුන් දෙන්නම හැදුවේ සමාජයට වැඩදායක ලෙසිනි. පොඩි පුතු හමුදාවට යනවාට අකැමැති වූවත් ඔහු හමුදාවට බැඳුනු කාලයේ යුද්ධයක් නොතිබූ නිසා ඉස්සර අම්මලා සේ බයෙන් සැකෙන් ජීවත්වන්නට නම් නන්දාට සිදුවූයේ නැත. ඒ නිසා දියතලාව යුද හමුදා පුහුණු පාසලින් පුහුණුව නිමාකර විශේෂ කාර්ය බලකා පුහුණුව ලබන්නට මාදුරු ඔය ගිය පුතු වෙනුවෙන් ඈ හිතේ අනියත් බියක් ඇති වූයේම නැත. පුහුණුව ලබන අතරේ කතා කිරීම පමාවූවා කියා ඈ හිත කලබල වූයේත් නැත. "පුතා මාදුරු ඔය ගිය දා ඉඳලා මට කතා කළා. සැප්තැම්බර් මාසෙ නිවාඩුත් ඇවිල්ලයි ගියේ. ඒ ගිහිල්ලත් 2017 ඔක්තෝබර් 01 වැනිදා වෙනකල් දිගටම කතා කළා. එදා ඔක්තෝබර් 01 වැනිදා එයා හරි සතුටින් කතා කළේ. මට කිව්වා හෙට එස්. එෆ් ට්‍රේනින් එක පටන් ගන්නවා, ෆෝන් එක ගත්තොත් මාස දෙක තුනකට කතා කරන්න වෙන්නෙ නෑ කියලත් කිව්වා . මං ඒත් හැමදාම වගේ මගෙ පුතාට පරෙස්සමින් කියලත් කිව්වා. ඊට පස්සෙ ගැන්නා නම් හරියටම දින 16 කින් පුතා මට කතා කළේ නෑ. ඔක්තෝබර් 16 මහත්තයා වැඩ කරන සභාවට ෆැක්ස් එකක් ඇවිත් තිබුණා උඩපුස්සැල්ලාව පොලිසියෙන්. අරලගංවිල පොලිසියේ දැනුම් දීමකට ඒකෙ මොනවා තිබුණද කියලා මම දන්නෙ නෑ. මට කිව්වෙ පුතාට පොඩි කරදරයක්, තුවාල වෙලා කියලා. මාත් හිතුවෙ ඒක ඇත්ත වෙන්න ඇති කියලා. මොකද ට්‍රේනින් එකේදී කරදර සිද්ධවෙන්න පුළුවන්නෙ. අපි ඒ වෙලාවෙම අපේ ඥාතීන් එක්ක පොළොන්නරුව රෝහලට යන්නට ගියා. අපේ දැනුම් දීමට අපිට කලින් අපේ ඥාතින් පිරිසක් මඩකලපුවෙන් ගිහින් තිබුණා. ඒ අය කිව්වා පොළොන්නරුවෙ නෙවෙයි පුතා ඉන්නෙ අරලගංවිල කියලා. අපි පොළොන්නරු රෝහලට නොයා අරලගංවිල රෝහලට ගියා." පුතුගේ මුහුණ දැක ගැනීමේ නොඉවසිල්ලෙන් අරලගංවිල රෝහලට ගිය සැනින් රෝහල තුළට දිව ගිය නන්දා එහි උන් අයෙක්ගෙන් පුතු ගැන ඇසුවාය. ඊට ඔහු උත්තරයක් දෙන්නට පෙර ඒ ළඟ සිටි සේවිකාවක ඇයට දුන් උත්තරයෙන් නන්දා දොලොවක් අතර අතරමං වූවාය. " ඒ ගෑනු කෙනා කිව්වා, ඔයාගෙ දරුවා ආයෙ ඔයාට කතා කරන එකක් නෑ කියලා. එක පාරට මට ඒක නොතේරුණත් පස්සෙ තේරුණා. මගෙ පුතාට මොකද වුණේ කියලා මං ඇහුවා. එතකොට තමයි කිව්වෙ වන අලි ප්‍රහාරයකින් පුතා මිය ගිහින් කියලා. මට ඒක විශ්වාස කරන්න බැරිවුණා. ඒත් පුතා මියගිහින් තිබුණා. අපේ හැමෝම ඒ දේ දැන ඉඳලා තිබුණා. මං විතරයි දැනගෙන ඉඳලා නොතිබුණේ. මට ඇතිවෙච්ච දුක, වේදනාව, කම්පනය මෙච්චරයි කියලා කියන්න බෑ. " දුකින් හෙම්බත්ව අරලගංවිල රෝහලේ සිටියද නන්දා පුතණුවන්ගේ දේහය දුටුවේ නැත. ඒත් ඈ සමග ගිය අනෙක් පිරිස නදීරගේ සිරුර දැක තිබුණි. ඒද මෝචරියේ මළ සිරුරු රඳවා ඇති ශීත කුටියේ වීදුරුවෙන් මිස කුටිය විවර කර නොවේ. එසේම අරලගංවිල රෝහලට මාදුරු ඔය කඳවුරේ කිසිවෙක් පැමිණ සිටියේ ද නැත. ඔවුන් එතැනින් අරලගංවිල පොලීසියට ගියහ. එවිට වෙලාව සවස පහ, පහයි තිහ වී තිබුණි. "අපි පොලීසියට යනකොට මාදුරු ඔය කඳවුරෙන් කිසිම කෙනෙක් රෝහලට වගේම අරලගංවිල පොලීසියටවත් ඇවිත් හිටියෙ නෑ. රෑ හතට, අටට වගේ හමුදා නිලධාරීන් පොලිසියට ආවා. ඊටපස්සෙ කිව්වා පහුවදාට උදේට පොළොන්නරුව රෝහලට එන්න කියලා. අපිට එදා රෑ නවාතැන් පහසුකම් ලැබුණා. 17 වැනිදා උදේ අපි පොලොන්නරුව රෝහලට ගියා. උදේ 8.00 විතර මට රෝහලෙන් කිව්වා අම්මා කලබල කරන්නෙ නැත්තම් අපි පුතාව පෙන්නන්නම්.කියලා මාව මෝචරියට එක්ක ගිහින් එක පාරටම සීත කුටියෙ ලාච්චුවක් වගේ එක ඇරලා ඇසිපිය හෙලන තත්ත්පරයෙ ඒක වැහුවා. මං චූටි පුතාව දැක්කා. ඒක අම්මෙකුට උහුලන්න පුළුවන් අවස්ථාවක් නෙවේ. විශේෂයෙන් ඇස් දෙක වගේ දරු දෙන්නෙක් හිටපු අම්මෙකුට. පොලොන්නරුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය තිබ්බා. අපිට ඒ වෛද්‍ය නිලධාරියා කිව්වා මොට පෘෂ්ටයකින් හිසටත් උරස් පෙදෙසටත් පහර දීමෙන් මේ මරණය සිද්ධ වෙලා තියෙන්නෙ කියලා. අපිට මරණ සහතිකයක් ඒවෙලේ නොදුන්නත් අපේ ලොකු පුතාට ඒ වෙලේ එතන හිටපු අය කිව්වලු මරණ සහතිකේ ලියලා තියෙන්නෙ කියලා. ඒ වෙලේ යුද හමුදා පොලීසිය මගෙන් කට උත්තරයක් ගත්තා. ඒත් දෙයියනේ අම්මා කෙනකුට පුළුවන්ද ඇහැක් වගේ රැක්ක මහගොඩක් ආදරේ කරපු පුතෙකුගෙ වියෝවක් නොහිතූ මොහොතක දැනගත්තම සිහි කල්පනාවෙන් කට උත්තරයක් දෙන්න...". ඈ එසේ කීවාට එදා ඒ මොහොතේ කට උත්තරයක් දුන්නාය. ඉන්පසු ඔවුන්ට නදීරගේ දේහය ලැබුණේය. වලපනේ සිට පොලොන්නරුවට ගිය නන්දා මාලනී හා හේරත් ඇතුළු ඥාති පිරිස සිය හුරතල් පුතුගේ නිහඩ දේහයත් රැගෙන් යළි ගමට පැමිණියහ. " ඔක්තෝබර් 17 වැනිදා රෑ හරස්බැද්දෙ අපේ ගෙදරට මගෙ පුංචි පුතා අරන් ආවා. මොන අම්මෙකුටද වාවන්න පුළුවන්. මං මොනතරම් අවාසනාවන්ත අම්මා කෙනෙක් ද කියලා මටම හිතෙන වාර අනන්තයි. මං කොහොම මගෙ මැණිකගෙ මූණ දිහා බලා හිටියද කියලා මට මතක නෑ. ඔක්තෝබර් 19 වැනිදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මගේ පුතාගේ අවසන් කටයුතු සිද්ධ වුණා.." නන්දා මාලනී ඒ මොහොත තාමත් සිහි කරන්නේ කඳුළිනි. හිතට දැනෙන දුක සමහන් කරගන්නට ඇයට කළ හැකිව තිබුණේ පුතු නමින් හැකි පමණ පින් කිරීමය. ඒත් පුතු නමින් ඈ නෙතින් කඳුළක් නොගැලූ දිනයක් ඉකිබිඳ නොහැඬූ රැයක් ඇයට නොතිබුණේය. " පුතාගේ තුන්මාසෙ දානෙ කටයුතු සිද්ධ වුණාට පස්සෙ ජනවාරි 22 මට මනම්පිටිය උසාවියේ නඩුවක් ඇති බවත් ඊට යන ලෙසත් අරලගංවිල පොලීසියෙන් දැනුම් දුන්නා. මං ඇහුවා මොන නඩුවක් ද කියලා. ආයතනයක් තුළ හදිසි මරණයක් වුණාම මේ වගේ නඩුවක් දානවා. ඒකට සාක්කි දෙන්න යන්න කියලයි දැනුම් දුන්නෙ. මම හරස්බැද්දෙ ඉඳලා මනම්පිටිය උසාවියට ගියත් හමුදා කඳවුරෙන් එතෙන්ට කවුරුවත් ඇවිත් හිටියෙ නෑ. ඒ විදිහට මම 2018 වසර පුරාම මේ කියන නඩුව වෙනුවෙන් මනම්පිටිය උසාවියට ගියත් හමුදා කඳවුරෙන් කිසිවෙකුත් ඒ කිසිම වාරයකදි ආවෙ නෑ. දිගින් දිගටම ඒ නඩුව කල්ගියා. ඒක මගෙ පුතාගෙ මරණය සම්බන්ධයෙන් කතාකරන නඩුවක් නිසාත්, නඩුව කල් යන නිසා මම මගේ වියදමින් නීතඥ මහතෙක් අල්ලලා තාම මට ලැබිලා නැති මරණ සහතිකය ගැන උසාවියට කිව්වා. නඩුකාර තුමා කිව්වෙ අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාව නැති නිසා නියෝගයක් දෙන්න බෑ කියලයි.." වළපනේ සහ පොළොන්නරුව යනු කිලෝමීටර් දහයක පහළොවක දුරක් නොවේ. දුර කිලෝමීටර් හාරසියක් පමණය. පුතුගේ වියෝවෙන් මානසිකව ඇදවැටී සිටින නන්දාට ඒ ගමන බෙහෙවින්ම වේදනාකාරී එකක් විය. "වලපනේ ඉඳලා පොළොන්නරුවට යන්න අපට වරකට රුපියල් 10 000 ක විතර මුදලක් වියදම් වෙනවා. මුදල් වියදම් වුණත් කමක් නෑ මේ නඩුවෙන් මට විසඳුමක් තියෙනවා නම්. මගෙ පොඩි පුතා නැතිවෙලා වසරකුත් මාස හතරක් වගේ කාලයක් මේ වෙනකොට ගෙවීගිහින් තිබුණත් මට තියෙන ප්‍රශ්නය වන්නෙ ඇයි මගෙ පුතාට මරණ සහතිකයක් නිකුත් නොකරන්නෙ කියලා. පුතා අවසන් වරට සිටි හමුදා පාසලට කතා කරලා ඒ ගැන අහනකොට ඔවුන් කියන්නෙ මේවා ඉක්මනට කරන්න බෑ කියලයි. ඉක්මනට තියා හෙමින් කරන්නවත් මේ ගැන ඔවුන්ගේ කිසිම මැදිහත්වීමක් නම් සිද්ධ වෙන්නෙ නෑ කියලා මට පැහැදිලියි. එහෙම වෙනවනන් ඔවුන් උසාවියට එන්න ඕනනේ.." හේරත් මේ ගමන්වලදී ඇයත් සමග ආව ගියද පෙරමුණ ගෙන මේ සියළු කාරණා සිදුකලේ නන්දාය.ඇයට පුතුගේ වියෝදුක විඳින්නට සිදුව ඇතුවාසේම ඒ පුතුගේ මරණ සහතිකය ගන්නටත් දුක් විඳින්නට සිදුව ඇත. ඒ හරියට පුතු මරාගත්තේ මේ අම්මාය යන චෝදනාවකින් සේය.අලියෙක් හෝ කොටියෙක් හෝ කවුරුන් හෝ පහරදීමෙන් නදීර මියගියේ හමුදා පුහුණුවක් ලබමින් සිටියදී හමුදාව බාරයේ සිටියදීය. ඉඳින් එවන් විටෙක ඔහුගේ මරණ සහතිකය ඒ අම්මාට ඉක්මනින් ගෙන දිය යුත්තේ අදාල වගකිවයුතු අංශ මිස වෙනකෙකු නොවේ. ඒත් සිදුව ඇත්තේ නොසිදුවවිය යුත්තකි. පුතු අහිමි වූවා මදිවාට ඒ අම්මාට මරණ සහතිකයක් ඉල්ලමින් උසාවියට යන්නටත් සිදුව ඇත. " ඇත්තටම මට විසඳුමක් නැති නිසා මම ජනපතිට කියන්න සෙවයට මේ සිද්ධිය කියලා ලිව්වා. එය ආරක්ෂක නිලධාරී මූලස්ථානයට යොමුකර එතැනින් මට ලිපියක් ලැබුණා. ඊටපස්සෙ මම ඒ ලිපියෙ සඳහන් දුරකථන අංකවලට කතා කළා. මට එතැනින් දුන්නේ පුදුමාකාර උත්තරයක්. ඒ සඳහා අපට කළ හැකි දෙයක් තියෙනවද කියලා ඇමතුමට කතා කළ කෙනා මගෙන් ඇහුවා. සාමාන්‍ය ජනතාව වන අපට දෙයක් කරගන්න බැරි නිසානෙ අපි අදාළ ආයතනයකින් විසඳුමක් බලාපොරොත්තු වෙන්නෙ. මගේ එම ලිපියෙන් මා බලාපොරොත්තු වුණේ කෙසේ හෝ ජනපතිතුමන් හමුවී මට සිදුව ඇති අසාධාරණය කියන්නයි. මම ප්‍රවෘත්ති විකාශනයන්වල දැකලා තියෙනවා මෙවැනි අවස්ථාවල එතුමා සංවේදි වී ගැටලු විසඳා දුන් අවස්ථා. ඒ වගේම එතුමා සේනාවිදායක ලෙස හමුදාවට බැඳී ජීවිතය අහිමි වූ මගේ පුතුට සාධාරණයක් දෙන්නට කටයුතු කරයි කියලා " හදිසියේ සිදුවූ පොඩි පුතුගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට නන්දාමාලනීගේ හිතේ ගැටලු රාශියක් පැන නැගී ඇත. ඇයට එසේ ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇත්තේ හේතු කාරණා කීපයක් ම නිසාය. " එදා සිද්ධිය ගැන අහලා අපි අරලගංවිල ගියාම අපි කාටවත් පුතාගේ සිරුර හරියට පෙන්නුවේ නෑ. පියවි ඇහින් තත්තපර දෙකකට වගේ දැක්කෙවත් මං විතරයි. එයාගෙ උඩුකය ඇඳුමක් තිබ්බෙත් නෑ. අලියෙක් ගහලාද මොකද දරුවට වෙලා තිබ්බෙ කියලා කිසි කෙනෙක් දැක්කෙ නෑ. හැම කෙනෙක්ම දැක්කෙ මල් ශාලාවෙන් හැඩකරලා ගෙදර ගෙනාවම. එතකොට ඉතින් කොහෙත්ම හොයන්න බෑනෙ. ඇත්තටම මගෙ පුතාගෙ මරණය ගැන මට සැකයි. ඒ නිසා පුතාගෙ මරණය සිදුවු සත්‍යම කරුණ මොකද්ද කියලා මට දැන ගන්න ඕනෑ. ඒ වගේමයි , ඇයි අධිකරණ වෛද්‍ය වාර්තාවේ මේතරම් පමාවක්. සති දෙක තුනක් මාස දෙක තුනක් නෙවේ අවුරුද්දකුත් මාස හතරක්.ඇයි මේ වාර්තාව ඉක්මනට ලබා දීලා මගෙ පුතාගෙ මරණ සහතිකය අපිට ඉක්මනට නොදෙන්න?. මනම්පිටිය උසාවිය මගින් නඩුවාර කීපයකදිම වෛද්‍ය නිලධාරිට සිතාසි කියා මහෙස්ත්‍රාත්තුමා කළ නියෝගවලට වූයේ කුමක්ද දන්නේ නෑ. අනික මම නඩුවකට යනවා කියලා යනවා. දරුවා හිටපු කෑම්ප් එකෙන් කිසි කෙනෙක් නඩුවට එන්නෙ නෑ. ඇයි හමුදා පාසල මේ සම්බන්ධයෙන් මැදිහත් නොවන්නේ. මොනවටද , කාටද පොලිසියෙන් නඩු පවරලා තියෙන්නෙ?. අඩුම තරමේ මගේ පුතාට වන අලියා හරි කොටියා හරි ගැහුවෙ මෙතනයි කියලා ඔවුන් තැනක් ස්ථානයක් පෙන්නුවේ නෑ.ඒ ස්ථානයට කැඳවා නොගියේ හරි ඒ කොතැනදැයි අපට නොකිව්වෙ ඇයි..? " නන්දාමාලනී දුක නිසා පුතුගේ මරණය ඒ මොහොතේ ප්‍රශ්න කිරීමකින් තොරව බාරගත්තද දැන් දැන් ඇයට ඒ මරණය සැක සහිතය. ඈ කියන්නේ පුතුගේ පුහුණු පාඨමාලාව මෙහෙයවූ කිසිවෙක් හෝ මාදුරු ඔය කඳවුරේ කිසිවෙක් අද මේ වනතුරුත් සෘජුව ඔවුන් හා සම්බන්ධවී කතා කර නැති බවයි. " අපි එක්ක කතා නොකළට එදා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවෙන්න නම් ඔය කට්ටිය ආවා. පොලොන්නරුව රෝහලේදී ඒ හමුදා නිලධාරින් කිව්වා මේ අය කැලේ ඇතුළෙ පුහුණුවේ යෙදුණෙ තනි තනිව බවත් දරුවා අනතුරට ලක්වී පැය කාලක් ඇතුළත අරලගංවිල රෝහලට ගෙනා බවත්. නමුත් අරලගංවිල රෝහලට දරුවා ඇතුළු කරන ලද අවස්ථාවේ වෙලාව කීයටද, එතකොට ඔහුගේ තත්ත්වය කොහොමද, කියලා කිසිදු තොරතුරක් අපි දන්නෙ නෑ. මට හිතෙන්නේ ඛණ්ඩබාර නිලධාරින් මගේ දරුවාගේ ආරක්ෂාවක් ගැන හිතලා නෑ කියලා. ඔහුව හරියට බලාගෙන නෑ. " ඇය ඉල්ලන්නෙ ඈ ළඟ සිට හමුදා පුහුණුවට බාර දී අකාලයේ මියගිය පුතුට යළි පන පිහිටුවා දෙන ලෙස නොවේ. ඇය ඉල්ලන්නේ ඔහු මියගිය බව සනාත කෙරෙන මරණ සහතිකයයි. අවුරුදු දහනවයක් උස් මහට්ග්න්කක පුතෙක් රටට දී අකාලයේ මියගිය පසු මරණ සහතිකයක් ගන්නට අම්මෙකුට නඩුකියන්නට වීම තවත් දුකකි. නන්දාමාලනී තවමත් සිටින්නේ ඒ දුක නිමාවන දිනයක් කවදාදැයි නොදැනය. -- පොළොන්නරුව කොට්ඨාස භාර පොලිස් අධිකාරී ධම්මික වීරසේකර ‘සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් කරලා තියෙනවා. ඒ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව ලැබුණාම මියයාමට හේතුව හෙළිකරගන්න පුළුවන්. දැනට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පුහුණුවකට විදේශගතවෙලා නිසයි වැඩ කල් ගියේ. ඊළඟ නඩු විභාගයේ දී අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරයි. -- යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලා ඒ අදාළ අංශ දැනුවත් කරලා ඒ සෙබළාගේ පවුලට සාධාරණය ඉටුකරන්න කටයුතු කරනවා. දැනට මේ ප්‍රමාදයට හේතුව මොකක්ද සහ යුද හමුදාවෙන් ඉටුවිය යුතු කටයුතු කඩිනම් කරන්න අදාළ අංශවලට දැනුම් දෙනවා. බියංකා නානායක්කාර
 

More News..