brand logo

හමුදාවේ අවි පාතාලයට ගියේ කෙසේද?

29 September 2020

යුද හමුදාව සතු ගිනි අවි පාතාල සාමාජිකයන් අතට පත්වී තිබෙන බව අනාවරණය වී ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ (28 වැනිදා) දන්වා සිටියේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විශේෂ විමර්ශනයේදී මේ බව හෙළිව ඇතැයි ඔහු පවසයි. යුද හමුදාව සතු ගිනි අවි මේ අයුරින් පාතාල සාමාජිකයන් අතට යුද හමුදාවේ අවි පත්වීම බරපතළ තත්ත්වයක් බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් වෙත පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් සිදුකිරීමට අවශ්‍ය බව දන්වා සිටියේය. මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ නඩුව ඊයේ (28 වැනිදා) යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එසේ ප්‍රකාශ කළේය. මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 130ක ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට අදාළව මංජු නමැති සැකකරුවකු අත්අඩංගුවට ගෙන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය. අදාළ සැකකරු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකරුවන් අතර සබඳතාවක් තිබී ඇතැයි දන්වා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස්, මංජු නමැති එම සැකකරු සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 2ක් සහ පිස්තෝල 2ක් සොයාගෙන ඇතැයිද දන්වා සිටියේය. එම ගිනි අවිවල අංක ඔස්සේ සිදුකළ විමර්ශනයේදී එක් ගිනි අවියක් 1996 වසරේ දෙසැම්බර් 31 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට නිකුත් කළ ගිනි අවියක් බවට කරුණු අනාවරණය වී ඇතැයි දන්වා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, යුද හමුදාව විසින් එම ගිනි අවිය නිකුත් කළේ කුමන නිලධාරියාටද? එය පාතාල සාමාජිකයන්ට අතට පැමිණියේ කෙසේද? යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන කිරීමට අවශ්‍ය බව දන්වා සිටියේය. සැකකාර නාකොටික් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයන් ඇප මත මුදා හරින ලෙසට කර ඇති ඉල්ලීමට අදාළව තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව පැවැසීය. ඊට අදාළ කරුණු ඔක්තෝබර් මස 7 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සැකකරුවන්ගේ නීතිඥවරුන්ට දැනුම් දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දැනට රිමාන්ඩ් භාරයේ සිටින නාකොටික් නිලධාරීන් 13 දෙනා ලබන මස 12 වැනි දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය. ඉෂාර රත්නකාර
 

More News..