brand logo

හමුදාවෙන් ගමින් ගමට අලිවැටක්

24 March 2019

ගොයම් කැපෙන මේ කාලයේ අලි තර්ජන ඇති බොහෝ ගම්මානවල ඇත්තේ දුක් කතාන්දරය. කුඹුරුවල පැල් රැකි පිරිස් ගොයම් කැපූ පසු නිවෙස්වලට එන්නට වීමත්, සමග අලි ගම්වැදීම දැනගන්නටද විදියක් නොමැත. අලියා ගම්වැදී පහර දෙන තුරුම නොදන්නා නිසා ගොයම කැපූ දා පටන් සියලු දෙනා සිටින්නේ නිදිවර්ජිතවය. ගම්මු ගොයම කපා බියෙන් ජීවත් වුණත් අප මේ කියන මහවිලච්චියේ වම් ඉවුරේ යායතුනේ වෙල්යායක් මැද ඇති අප්පුහාමිගේ නිලම්මාගේ නිවාස දෙකටම අලි ගහන්නේ නැත. හැටහය හැවිරිදි නිලම්මා තම සැමියා හා පුතා සමග එක නිවසකය. නිලම්මාගේ දුව හා දරු දෙදෙනා තව නිවසකය. විල්පත්තු කැලෙන් එලි බසින අලි රංචුවෙන් මේ කැලයේ බේරෙන්නට කාහටවත් ඉඩක් නැති තරම්ය. ගොයම කපා අටුවලට රැස් කරන ගොයමම කන්නට අලි එන්නේ ‘‘උඹලා ගොයම කපාල ගෙනල්ලා දාපන්. අපි කන්නම්.’’ කියන්නාක් මෙනි. සැබවින්ම මෙය ශෝකාන්තයක්මය. එක්කෝ අහවර වෙන්නේ ජීවිතයක් බිලිගෙනය. දුක් මහන්සි වී හදාගත් ගෙවල් දොරවල් විනාශ කර දමා හෝ යන්නේය. ‘‘මේ කියන අලි උවදුර පසුගිය වසරේ නම් නිලම්මාටත් පවුල්වලටත් දැනුණේය. ‘‘ගිය අවුරුද්දේ වී කන්න ආපු අලි අපේ ගේත් කැඩුවා. ගේ කඩලා වී මිටි දෙකකුත් කෑවා. අපි වෙල්යාය මැද්දේ ගෙවල් දෙකක ඉන්නේ. ඒ කාලේ රෑ එළිවෙනකම් නින්දක් නැහැ. අලි තුන් හතර දෙනෙක් ඇවිත් ඔක්කොම විනාශ කරනවා. අපේ ඉස්සරහ තිබුණු ගෙවල් දෙකත් කැඩුවා. අලි වෙඩි ගැහුවත් මේ අලි යන්නේ නැහැ මහත්තයො. අපි නොමැරී ජීවත් වුණේ බොහොම අමාරුවෙන්.’’ අලි වෙඩිල්ලටත් මට්ටු නොවුණු. අලි මෙල්ල කර ගන්නට නිදහසේ ජීවත් වන්නට නිලම්මලාට වරම් ලැබුණේ මීට මාස හයක පටන්ය. නිලම්මා වගේම තඹුත්තේගම, ගල්ගමුව, අතර මැදගම පදිංචි නිල වෙදකමට ප්‍රසිද්ධ වෙද මහතකු වන පියසිරි බණ්ඩාර මහතාටත් තිබුණේ මේ කියන ප්‍රශ්නයමය. සියඹලන්ගමුව ව්‍යාපාරයට අයත් යුනිට් එක, දෙක, තුන, හතර, පහ කලාප අලි තර්ජනයෙන් පීඩිත ගම්මානය. මේ පැත්තට වන අලින්ගෙන් සිදුවන හානිය සුළු පටු නොවන්නේය. වගාවක් තබා පොල් ගසක්වත් අලින්ගෙන් නම් බේරාගත නොහැකිය. වසර පහළොවක පමණ කාලයක් නිල වෙදකමේ නිරත පියසිරි බණ්ඩාර වෙද මහතාද අලි උවදුරෙන් බැට කෑ ගම්වැසියෙකි. ‘‘අපි අලි උවදුර නිසා බයෙන් ජීවත් වුණා, කාලයක් තිස්සේම. අලි ගහලා මගේ මාමත් මැරුණා. වී කන්න ගෙවල් කඩන නිසා අපි වී එළියේ තියන්නත් ගත්තා. ගිය ඉරිදත් තුන්දෙනෙක් ඇවිත් අල්ලපු ඉඩම්වල බඩ ඉරිඟු වගාව කාලා පොල්ගස් විනාශ කරලා ගිහින් තිබුණා. හැබැයි දැන් අපේ ඉඩමත් එක්ක තියෙන ගෙවල් තුනටම අලි එන්නේ නැහැ. මාස හයක් තිස්සේ අපේ ගෙවල් මායිමට ඇවිත් බලාන ඉඳල අලි යන්න යනවා.’’ මේ පියසිරි බණ්ඩාර නිල වෙදමහතා කියන කතාවය. අලි මට්ටුකරන අරුම පුදුම සාත්තරය නොමිලේම නිලම්මාට මෙන් වෙද මහතාටත් ලැබී තිබුණේය. නිලම්මාට, පියසිරි වෙදමහතාට මෙන්ම දෙහිඅත්තකණ්ඩියේ සිරිපුර සුගලා දේවිය සිටි බව කියන සූර්යදේව කඳු පාමුල පදිංචි ඉන්ද්‍රානි වීරසිංහ මහත්මියටත් අලි මට්ටු කරන අරුම පුදුම සාත්තරය ලැබුණේය. සූර්යදේව කන්ද පාමුල පිහිටි පලුදෙණිය එක පසකින් මහවැලි ගඟය. අනෙක් පසින් වස්ගමුව වනාන්තරයය. ඒ සියල්ලට මැදිව අක්කර එකසිය ගණනක කුඹුරු යායක්ය. වස්ගමුවෙන් කෑම සොයා ගම් වදින අලින් එන්නේ මේ වෙල්යාය ඔස්සේය. ගොයම් කැපෙන තුරු පැල් රකින අය සිටින නිසා අලි ගම්වදින්නට පෙර මගදිම එළවා ගත්තේය. ගොයම් කපන මාර්තුව, අගෝස්තුව, ගෙවල්වලත් සිටීමට නොහැකි තරම්ය. ‘‘අපි දුෂ්කර පැත්තක ජීවත් වන්නේ. ගමට දිගටම අලි ගැහුවා. ගෙවල් කැඩුවා. කුඹුරු විනාශ කළා. ගමේ කෙනෙක් කුඹුරේම මඩේ පාගලා මැරුවා. තව කෙනෙක් අලියා එලවද්දි මඩේ හැංගිලා බේරුණා. කව්රුත් රෑට නින්දක් නැතිව ගෙවල්දොරවල් රැක්කා.’’ මගේ මල්ලි අම්පාරේ ගල්කන්දේ. එයා නව නිපැයුමක් කරල පළවැනි තැනට ආවා. ඒ නව නිපැයුම් ප්‍රදර්ශනයට හමුදාවේ මහත්තුරු වගයක් අලි මට්ටු කරන බල්බ් එකක් නව නිපැයුමක් විදියට ඉදිරිපත් කළා කියලා මල්ලිගෙන් දැනගත්තා. ඊට පස්සේ අපි ඒ මහත්තුරුන්ට කතා කරලා අලි ප්‍රශ්නෙ නිසා අපි විඳින දුක කිව්වා. ඊට පස්සේ තමයි හමුදාවේ නිලධාරීන් ඇවිත් නොමිලේම අපිට අලුත් විදුලි බල්බ සහිත අලි වැට හදලා දුන්නේ. දෙසැම්බර් 16 දා අපේ ඉඩම එක්ක කිලෝමීටර් දෙකක් ආවරණය වෙන්න වැට හදලා දුන්නා. වෙල් යාය මැද්දේ තිබුණු ගෙවල් දෙකකටත්, යුද්ධයෙන් කකුල් දෙකම අහිමි වූ රණවිරුවකුගේ නිවසකටත් මේ වැට දාලා දුන්නා. එදා ඉඳන් අද වනතුරුත් අපිට අලි ආවේ නැහැ. බල්බ් නැති ඉඩම්වලට එනවා. අපේ මායිමටවත් එන්නේ නැහැ. ඇත්තටම හමුදාවේ මහත්වරුන්ට පිංසිද්ධ වෙන්නට දැන් බයක් සැකක් නැතිව අපි නිදා ගන්නවා. මහවිලච්චියේ නිලම්මගේ ඉඩමටත් පසුගිය මාස හය පුරාවටම අලි නොපැමිණියේ මේ කියන අරුම පුදුම සාස්තරය හඳුන්වා දුන් යුද හමුදාවේ නව නිපැයුම නිසාය. ‘‘දැන් අපේ පැත්තට අලි එන්නේ නැහැ. අතරමගදිම හැරිලා යනවා. වෙල්යාය මැද්දේ තියෙන අපේ ගෙවල් වටේට රවුමට ලයිට් දාපු වැටක් හමුදාවේ මහත්වරු ඇවිල්ලා හදලා දුන්නා. මෙච්චර කාලයක් කිසිම ආණ්ඩුවේ බලධාරියෙක් අපිට මේ ප්‍රශ්නය විසඳන්න උදව් කළේ නැහැ. අද අපි බයක් සැකක් නැතිව ඉන්නේ හමුදාවේ මහත්වරු අපිට දුන්න මේ තෑග්ග නිසයි.’’ ඒ නිලම්මා කියන කතාවය. තඹුත්තේගම, මැදගම පියසිරි වෙද මහතාටත් මාස හයක සිට නොමිලේම ලැබුණු අරුම පුදුම තෑග්ග. නිසා අද ඔවුන් බියෙන් සැකෙන් තොරව ජීවත් වෙති. අලි මට්ටුකරන බල්බ වැට තමන්ටත් සවිකර දෙන මෙන් හමුදාවෙන් ඉල්ලා මේ තුන්දෙනාගේම නිවෙස්වලට ගම්මු නිතරම ඇදී එති. අප මේ කතා කළ අරුම පුදුම බල්බය නව නිපැයුමක් ලෙස නිපදවන්නේ යුද හමුදා පර්යේෂණ, විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාව මගිනි. කර්නල් සුදත් දේශප්‍රිය උදයසේන මේ නව නිපැයුමට මුල් වූ නිලධාරියාය. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව නිපැයුම් සඳහා අරමුදල් සැපයුවේ රටට අවශ්‍ය නව නිපැයුම් සොයා යෑමට නිලධාරීන්ට දිරි දෙමිනි. මේජර් ජෙනරාල් රේණුක රොවෙල් පර්යේෂණ, විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාවේ ප්‍රධානියා ලෙස හමුදාපතිවරයාගේ අරමුණ කරා කර්නල් උදයසේන ඇතුළු තම කණ්ඩායම ඉදිරියට ගෙන ගිය නිලධාරියාය. මෙම අරුම පුදුම විදුලි බුබුළ අලි ගැටලුවට විසඳුමක් ලෙස සොයා යන්නට කර්නල් උදයසේනට මග පෑදෙන්නේ තම රියැදුරා වූ කෝප්‍රල් කැලුම් චන්දන මුහුණ පෑ අලි උවදුරය. දිනපතා උදෑසන තම වාහනයට නගින කර්නල් උදයසේනට අසන්නට ලැබෙන්නේ කැලුම්ගේ දුක් ගැනවිලිය. ‘‘සර් අදත් ගෙදරට අලියා ගහලා. අදත් වගාව පාලු කරලා.’’ කැලුම් නිතර කියූ කතාවය. විලච්චිය, දෙගහැව යාය තුනේ පදිංචි කෝප්‍රල් කැලුම්ගේ නිවස තිබුණේ විල්පත්තුව වනාන්තර මායිමේය. විල්පත්තුව මායිමේ දෙගහැව ගමේ පවුල් විසිපහක්, තිහක් නිරන්තරයෙන් වන අලි උවදුරට මුහුණ දුන්හ. කැලුම් නිවාඩුවට ගොස් වැවූ කෙසෙල් ගස් දෙසියපනහක් පමණ එක රැයින් හමාර කර තිබුණේ ගම් වැදුණු අලි රංචුවකි. කෙසෙල්, පොල් වගා විනාශ කර නිවෙස්වල වී මලු පවා කා දමන්නට දෙගහැව ගමට ආ අලි පුරුදුව සිටියහ. කැලුම්ගේ ප්‍රශ්නයට විසඳුම් සොයා නව නිපැයුමක් කරන්න පර්යේෂණයක් ඇරඹූ කර්නල් උදයසේන ඇතුළු කණ්ඩායම අලියා මට්ටු කරන්නට හැකි ආකාරය සොයා බැලූහ. ‘‘අලියා මෙන්ටලි බැරියර් එකකින් නවත්තන්න බැහැ කියලා අපි ස්ටඩි කරද්දි තේරුම් ගත්තා. එ්ක තාවකාලික දෙයක් විතරයි. අලි වැට ගහලා (විදුලි වැට) ටික දවසකින් අලියා කොට පෙරලලා බලනවා. ඊට වස්සේ බය නැති වුණාම කොට උඩින් පැනලා ගමට එනවා කියලා තේරුම් ගත්තා. ඒ නිසා තමයි අලියාගේ බයෝලොජිකල් වීක්නස් හඳුනා ගෙන පිළියමක් හෙව්වේ. අලියාගේ දෑස්, දෙපා ගැන අධ්‍යයනය කළේ ඒ අනුවයි. ඊට පස්සේ අලියාගේ ඇස් ගැන අපි ස්ටඩි කළා’’ යැයි කර්නල් උදයසේන තම ආරම්භය සිහිපත් කළේය. ජපාන මහාචාර්යවරයකු විසින් අලියාගේ පෙනීම ගැන කළ පර්යේෂණ වාර්තාවක්ද මෙම කණ්ඩායම අධ්‍යයනය කළහ. දිවා කාලයට අලින් වර්ණ අන්ධතාවයෙන් පෙරෙලන ආකාරයත්, නිල් පැහැය සහ කහ පැහැය මිශ්‍ර වන වර්ණ හැර අලියාට අනෙකුත් වර්ණ නොපෙනෙන බවත් එම තොරතුරු සොයායෑමේදී තහවුරු විය. අලියාගේ දෘෂ්ටි විතානය අනුව ඉමි සෛලවලට බලපෑමක් කළ හැකි ආලෝක ධාරාවක් නිකුත් කිරීම මගින් අලියාගේ පෙනීම තාවකාලිකව නැවැත්වීමට හැකි අයුරු මෙහිදී සොයා ගැනුනේය. හරියට විශාල විදුලි එළියක් මිනිසකුගේ මුහුණට එල්ල වුණාම විනාඩි හතළිස් පහක් විතර යනවා සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න. එතැනදි ඉමි සෛලවලට හානි වෙලා තාවකාලිකව ඇස් පෙනීම අඩුවෙනවා. එක යළිත් ස්වාභාවික පරිසරයට ගියාම විනාඩි හතළිස් පහකින් විතර නැති වෙනවා. ඒකම තමයි අලියාවත් මට්ටු කරන්න අපි සොයා ගත්තේ. දිගටම ඒ විදුලි ආලෝකය දැල්වී තිබුණොත් අලියා ඒකටත් හුරු වෙන හින්දා නිවි නිවී පත්තුවෙන ක්‍රමවේදයක් සඳහා අපි ගියා. ‘‘මේ සඳහා අපි වෙළෙඳපොළේ තියෙන සුදු පැහැති විශේෂ එල්.ඊ.ඩී. බල්බයක් තෝරා ගත්තා. මුලින්ම කියමු ව්‍යාපෘතියට තෝරාගත්තේ කෝප්‍රල් කැලුම්ගේ විලච්චියේ ගෙදර. අපි ප්ලාස්ටික් වතුර ෂවර් එකකට එල්.ඊ.ඩී. ලයිට් හයි කරලා නිවි නිවී දැල්වෙන ආකාරයට අලියාගේ ඇස් මට්ටමට ඈතට පේන ආකාරයට වත්ත වටේට දැම්මා. වාහන බැටරියකින් විදුලිය ලබාදී නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුවා. එම නියමු ව්‍යාපෘතිය සාර්ථක වන්නේ බල්බ යෙදූ පළමු මාස තුනේම අලියාගෙන් හානි වාර්තා නොවූ නිසාය. ‘‘අලි වැටට ලයිට් දාලා පළවැනි දවසේ මීටර් පනහක් විතර දුරින් අලි ඇවිත් හිටියා. වත්තට එන්න ආවේ නැහැ. දවස් පහකට පස්සේ වයිෆ්ට ලයිට් දාන්න අමතක වෙලා. රෑ ළිඳට යද්දි අලි වත්තට ඇවිල්ලා හිටියා. ලයිට් දාපු ගමන් අලි දුවලා. අපිට එදා එක්ක තුන් දවසයි මේ වෙනකන් අලි ආවේ. ඒ තුන් දවසම ලයිට් පත්තු කරන්න මගහැරුණ නිසා අලි ඇවිත් තිබුණා. දැන් මාස අටක් තිස්සේ අපේ ගෙවල්වලට අලි එන්නේ නැහැ.’’ මේ නියමු ව්‍යාපෘතිය ලද කෝප්‍රල් කැලුම් කියන කතාවය. විල්පත්තුවට මීටර් පන්සියයක් දුරින් පිහිටි නිවස රැකගත් කැලුම් සිය සොයුරාගේ අක්කර තුනක කුඹුරටත් අලින්ගෙන් වන හානිය නවත්වාලන්නට ලයිට් සවි කරන්නේ. සොහොයුරා සමග එක්වය. මේ කුඹුරට විල්පත්තුවේ මායිමේ සිට ඇත්තේ මීටර් සියයකි. කාර් බැටරියක් චාජ් කරගෙන ගොස් රාත්‍රියට අක්කර තුනේම ලයිට් දැමූවිට මේ පාර අලින්ගේ සෙවණැල්ලක්වත් මේ කුඹුරට වැටුණේ නැත. වටපිට කුඹුරුවලට අලි උවදුරු නැවතුණේ නැත. මෙයින් පසුව පවුල්වල සියලු දෙනා කැලුම්ගේ නිවසට සවි කළ අරුම පුදුම බල්බය සවි කර දෙන ලෙස ඉල්ලා යුද හමුදාවෙන් ඉල්ලීම් කළහ. යුද හමුදාවට ප්‍රතිපාදන නොමැති නිසා ශ්‍රමදායකත්වය ලබාදීමට ඉදිරිපත් වුවද වියදම දරන්නට කිසිවකු නොවීය. අත මිට ඇති ගම්වාසීන් පවා නොමිලේම මෙය කරගන්නට වෙර දැරූහ. අලි මිනිස් ගැටුමෙන් දරුණුවට බලපෑම් එල්ල වූ පවුල් සොයා මූලික අදියරේදී කොළඹ ආනන්ද විදුහලේ ආදි ආනන්දියන්ගේ සහාය මත විදුලි බල්බ යොදා අලි වැට තනා දෙන්නට කර්නල් උදයසේන මුල පුරන්නේය. ඔහුත් ආදි ආනන්දියකු නිසා මුලින්ම විලච්චියේ පවුල් රැසක් ආවරණය වන්නට තැන් නවයකට බල්බ යෙදුවේය. එදා පටන් මාස අටක් අදටත් ඔවුන් අලින්ගෙන් සුරක්ෂිතය. දෙහිඅත්තකණ්ඩියේ විදුලි බල්බ යොදන්නට මූල්‍ය දායකත්වය ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාවල සිටින ආදි ආනන්දියන් විසින් දරා තිබුණේය. දැන් ඇත්තේ රට කරවන්නන් හෝ රටට ආදරය කරන්නන් එක් වී අලි මිනිස් ගැටුමෙන් සියලු දෙනා රැක ගැනීමය. යුද හමුදාව විලච්චියේ ගම්වාසීන් සමග දිස්ත්‍රික් ලේකම්වරයාත්, ප්‍රාදේශීය ලේකම්වරයාත් ගෙන්වා මීට මාස දෙකකට පෙර නියමු ව්‍යාපෘතියේ පටන් මේ දක්වා ප්‍රගතිය දන්වා නොමිලේ ශ්‍රමදායකත්වය ලබා දෙන්නට යෝජනා කළේය. නමුත් අදටත් බලධාරීන් නිහඬය. ගම්වාසීන් මරබියෙන්ය. මේ විදුලි බල්බ සහිත වැට යොදන්නට යන්නේ අක්කරයකටම රුපියල් පනස්පන්දහසක්ය. රජය යොදන්නට යන ආරක්ෂක විදුලි වැට (අලි වැට) කිලෝමීටර් හත්දහසක්ය. එය ආරක්ෂා කරන්නට සිවිල් ආරක්ෂක නිලධාරීන් පන්දහසක් බඳවාගෙන ඔවුන්ට විදේශයකින් AK47 ගිනි අවි පන්දහසක්ද ගේන්නට කැබිනට් අනුමැතියද යොමු කර ඇත. යුද හමුදාවට විදුලි බුබුළු යොදා හදන වැටක් තනන්නට කිලෝමීටරයකට යන්නේ රුපියල් ලක්ෂ දෙකහමාරක්ය. අද වන විට නියමු ව්‍යාපෘතියටත් වඩා තාක්ෂණය යුද හමුදාවට මොරටු විශ්වවිද්‍යාලයෙන්ද ලැබී ඇත. ඒ වැඩි විදුලි බල්බ ගණනක් අඩු බැටරි විදුලියකින් දැල්වීම සඳහා වන තාක්ෂණයය. විලච්චියේ අක්කර තිස්දෙකකුත්, තඹුත්තේගම අක්කර තිස්පහකුත් ආවරණය කර දෙන්නේ යුද හමුදාවේ නිලධාරීන්ගේ වුවමනාවටය. යුද හමුදාවෙන් නොමිලේ ශ්‍රමදායකත්වය ගෙන ගමත් අලි වැටත් පරපුරත් රැකගන්නට හැකියාව තිබියදී බිලියන ගණන් වියදම් කර විදුලි වැටවල් හා ගිනි අවි ගන්නට යන්නේ කාගේ මඩිය රැකගන්නටද යන්න ප්‍රශ්නාර්ථයකි. යුද හමුදා සංඥා බළකා සංවත්සරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද මෙම නියමු ව්‍යාපෘතිය දැක බලාගත හැකි විය. ජනාධිපතිවරයා හෝ මැදිහත් වී යුද හමුදාවේ සහායෙන් මෙම අරුම පුදුම විදුලි බුබුළ ගමට ගෙනගියහොත් ගමත්, රටත් අලි පරපුරත් රැකගත හැකිය. දෙස් විදෙස් පතළ වනජීවී විද්‍යාඥයකු වන ආචාර්ය පාථිවිරාජ් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් ලංකාවේ ප්‍රථම වන අලි සිතියම කරළියට ගෙන ආ සිව් වසරක පර්යේෂණයේදීත් තහවුරු කළේ අලි - මිනිස් ගැටුම නවත්වන්නට අලි ඇතුන් විදුලි වැට තුළට සීමා කර ප්‍රශ්නය විසඳා ගත නොහැකි බවය. දැනට වඳ වීමේ තර්ජනයට මුහුණ දී ඇති අලි සම්පත රැක ගැනීමට යුද හමුදාවේ නව ව්‍යාපෘතිය අනාගතයේ ප්‍රයෝජනයට ගැනීම බලධාරීන්ගේ වගකීමය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..