brand logo

හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල ජාතික රෝහලක තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනවා - ඇමති පවිත්‍රා

20 December 2019

හම්බන්තොට දිස්ත්‍රික් නව රෝහලේ සහ වීරකැටිය ප්‍රාදේශීය රෝහලේ රෝගී සත්කාර සේවා කටයුතු ඊයේ දින (19) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ නිරීක්ෂණයට ලක්විය. හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ රෝගී සත්කාරක සේවා කටයුතු මෙම මස (09) දින ආරම්භ කරන ලද අතර, මෙම රෝහල ඊයේ (19) පස්වරුවේ පළමුවෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමියගේ නිරීක්ෂණයට ලක් විය. එහිදී රෝහලේ රෝගී සත්කාර සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යාම සදහා සපුරාගත යුතු අවශ්‍යතා සම්බන්ධයෙන් රෝහල් අධිකාරිය ගරු අමාත්‍යතුමියගේ අවධානය යොමු කරන්නට විය. කඩිනම් හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සදහා කඩිනමින් සම්පුර්ණ කර ගත යුතු අවශ්‍යතාවයන් අතර නව දිස්ත්‍රික් මහ රෝහල සදහා බාහිර ආයතනයන්ගෙන් සිදුකර ගත යුතු අවශ්‍යතා සහ කාර්යයන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන සහ අනුමැතිය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදු කර ගත යුතු අවශ්‍යතා, (වකුගඩු කාන්දුපෙරණ ඒකකය ඉදිකිරීම, රෝහල් පරිශයේ ඉතිරි මහල් දෙක සම්පූර්ණ කර ගැනීම, MRI Scanner සදහා වන ගොඩනැගිල්ල ඉදිකිරීම, වෛද්‍ය නිල නිවාස ඉදිකිරිම, තෙමහල් නිල නිවාස සංකීර්ණය ඉදිකිරිම, පිළිකා ප්‍රතිකාර ඒකක ගොඩනැගිල්ල ඉදිකිරීම, අහිතකර වායූන් සහ අපජලය බැහැර කිරීමේ ක්‍රමවේද) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත දැනට සිදුකරගෙන යමින් පවතින වැඩ විෂයන් සහ මානව සම්පත් පිළිබදව රෝහල් අධිකාරිය ඇතුලු වෛද්‍යවරු මෙහිදී කරුණු ඉදිරිපත් කරන ලදි. අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරිය වීරකැටිය ප්‍රාදේශීය රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය, දන්ත ශල්‍යාගාරය ඇතුලු රෝගී සත්කාරක සේවාවන් නිරීක්ෂණය කරන ලදි, රෝහල් නිරීක්ෂණයෙන් අනතුරුව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - “සෞඛ්‍ය අමාත්‍යධූරය ලබාගැනීමෙන් පසු නාමල් මන්ත්‍රීතුමාගේ ආරාධනයෙන් මා සති දෙක තුනක් ඇතුලත මගේ යුතුකමක් විදිහට මගේ පළමු නිල චාරිකාව හම්බන්තොට ප්‍රදේශයේ රෝහල්වල අඩුපාඩු සොයාබැලීම සදහා වෙන් කරමින් අද දින මෙම රෝහල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වූවා. අනතුරුව පැවැති සාකච්ඡා සදහා සහභාගි වූ විශේෂඥ වෛද්‍යවරුන්ට මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව හම්බන්තොට රෝහල කොළඹ ජාතික රෝහල තත්ත්වයටම ගෙන එන්න. එය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් තිබෙනවා. දියුණු වෙමින් පවතින දිස්ත්‍රික්කයක් විදිහට වරායක්, ගුවන් තොටුපළක් ඇති මේ දිස්ත්‍රික්කයේ සියලුම අංග වලින් සම්පූර්ණ ජාතික රෝහලක් නිර්මාණය විය යුතු බව මා පිළිගන්නවා. ඒ සදහා කඩිනමින් ගත හැකි සියලු පියවර ගන්නවා. අපි ඉතා ඉක්මණින් ලංකාවේ තිබෙන දියුණුම ජාතික රෝහලක තත්ත්වයට මෙම රෝහල ගෙනඒමට කටයුතු කරනවා. කෙටි කාලීන හා දීර්ඝ කාලීන කටයුතු සිදුකරමින් ඒ සදහා අවශ්‍ය මූලික සැළසුම සකස් කිරිම මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවරනවා. අවශ්‍ය මානව හා භෞතික සම්පත් සියල්ල ලබාදෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට අපි පොඩි වගකීමක් පැහැර හැර තිබෙනවා. මොන ආධාර ලැබුනත් මෙහි නිවැරදි සැළසුම හදන එක දේශපාලන අධිකාරියට කරන්න බැහැ. දේශපාලන අධිකාරිය කළේ මුදල් ගේන එක. මෙහි සැළසුම් නිවැරදි අයුරින් කරන්න තිබුනා. එය නිලධාරින්ගේ පැත්තේ තිබෙන වැරැද්දක්. මෙවැනි දුෂ්කර පළාතකට ලැබුන සම්පතක් ලෙස මෙම රෝහල හදුන්වන්න පුළුවන්.” “වීරකැටිය ප්‍රාදේශීය රෝහලේ රෝහල් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් ගෙනයන රෝගී සත්කාර සේවාන් ඉදිරියට තවත් ගුණාත්මක අයුරින් සිදු කිරිම සදහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙනවා. සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය සිදු කරන සේවය ඉතා අගය කොට සළකනවා. රෝහලේ මානව හා භෞතික සම්පත් හිඟය කඩිනමින් මග හැරවීමට කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ ඇති රෝහල දියුණු රෝහල් කිරිම සදහා ගත හැකි සියලු පියවරක්ම ගන්නවා.” මෙම නිරීක්ෂණ චාරිකාව අතර තුර රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ සුවදුක් විමසා බැලීමට ද සෞඛ්‍ය අමාත්‍යවරිය සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටයුතු කරන ලදි.  
 

More News..