brand logo

හපුතලේ ගුවන් අනතුරින් මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මරණ පරීක්ෂණ අද

04 January 2020

හපුතලේ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මියගිය ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) සිදුකිරීමට නියමිතයි. ඊයේ (03) පස්වරුවේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළේය. ගුවන් අනතුරින් මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරීර බදුල්ල රෝහලේ තැන්පත් කර තිබේ. ඊයේ (03) උදෑසන වීරවිල ප්‍රදේශයෙන් පියාසර කිරීම ආරම්භ කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ මෙම ගුවන් යානය රත්මලාන දක්වා පියාසර කරමින් තිබියදී උදෑසන 9.15ට පමණ හපුතලේ තම්බිපිල්ල මාවත ප්‍රදේශයේදී අනතුරට ලක්විය. අනතුර සිදුවන අවස්ථාව වන විට එහි ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන් සියලුම දෙනාම ජීවිතක්ෂයට පත්විය. යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි නියමු ලෙස කටයුතු කර ඇත්තේ බලගණ නායක බුද්ධි වීබැද්ද මහතා විසිනි. සහාය ගුවන් නියමු ලෙස බලපන්ති නායක ලංකාපුර කුලතුංග මහතා කටයුතු කර ඇති අතර, යානය තුළ නායක ගුවන්භට එල්.ඒ .සී හෙට්ටිආරච්චි මහතා ද සැරයන් ඩී .ඩබ්ලිව්.කුමාර මහතාද සිට තිබේ.  
 

More News..