brand logo

හපුතලේ ගුවන් අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ - කොටස් කටුනායකට

10 January 2020

හපුතලේදී ඉකුත්දා අනතුරට ලක්වූ වයි-12 ගුවන් යානයේ කොටස් විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් හමුදා ඉංජිනේරු පක්ෂාංගනයට (Wing) යොමු කර ඇත. අනතුරට හේතුව යානයේ දෝෂයක්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු නොවූ හෙයින් වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම පියවර ගත් බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ‘අරුණ’ ට ඊයේ (9 වැනිදා) පැවැසීය. අනතුර සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ අතුරු වාර්තාව තමා වෙත ලැබුණු බවත් ගුවන් හමුදාපතිවරයා කීවේය. ගුවන් යානා අනතුර සිදුවූ දිනයේ කාලගුණය යහපත්ව පැවැති බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව හපුතලේ අධිකරණයට වාර්තාවක්ද ලබාදී තිබිණි. මෙදින කාලගුණය යහපත්ව තිබුණද කඳු ආශ්රිත ප්රදේශවල සුළං හමන ආකාරය නිශ්චිතව නොපෙනෙන බවත්, එයද ගුවන් යානයේ ඉදිරි ගමනට බලපෑ හැකි බවත් ගුවන් හමුදාපතිවරයා අවධාරණය කළේය. චීනයේ නිෂ්පාදිත යානයක් වුවද අනතුරට පත් යානයේ බටහිර රටවල නිෂ්පාදිත ලොව හොඳම තත්ත්වයේ එනජින් දෙකක් තිබුණ බවද ඉංජිනේරු අංශයේ නිලධාරීන් යොදවා නිශ්චිතව අනතුරට හේතුව සොයා ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය. මෙම පරීක්ෂණවල අවසන් වාර්තාව මසක් ඇතුළත අවසන් කරනු ඇති බවත් අවශ්ය වුවහොත් විදෙස් සහාය ලබාගන්නා බවත් ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේය. ගුවන් නියමුවා ඇතුළු සිව් දෙනකු අහිමි කරමින් හපුතලේ, අයිස්පීල්ල ප්රදේශයේදී පසුගිය 3 දා සිදුවූ ගුවන් අනතුර ගැන සොයා බැලීමට එයාර් වයිස් මාර්ෂල් ප්රසන්න පායෝ ඇතුළු සය පුද්ගල කමිටුවක් ගුවන් හමුදාපතිවරයා පත්කර තිබිණ. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..