brand logo

හදිසි ජනපතිවරණයක්?

08 November 2022

රනිල්ගේ සහයට පොහොට්ටුව

මැතිවරණ සිතියම අනුව මීළඟට මුලින්ම එනු ඇත්තේ පුංචි ඡන්දයයි. ලබන වසරේ මාර්තු වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එහෙත් විපක්ෂය ඉල්ලන්නේ කඩිනමින් මහ මැතිවරණයකි. කෙසේ නමුදු මේ වන විට පළාත් පාලන ආයතන බොහෝමයක බලය ඇත්තේ පොදුජන පෙරමුණටය. එහෙත් පසුගිය වසර දෙකහමාර තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ‘ගමට සෙත’ සැලසීමට නොහැකි වීම හේතුවෙන් පුංචි සභාවල මන්ත්‍රිවරු මැතිවරණය ප්‍රතික්ෂේප කරති. ‘‘අපට ගමට යන්න බැහැ. ඡන්දය ඉල්ලන්න බැහැ.’’ මන්ත්‍රිවරු කියති. එම මන්ත්‍රිවරු සිය ගැටලුව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා නායකත්වය දෙන නිදහස ජනතා සභාවටද ඉදිරිපත් කර තිබුණි.

පුංචි ඡන්දයද ජනපතිවරණයද

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසාර්ථක වීම, විපක්ෂයට පොදු අපේක්ෂකයකු සොයා ගෙන සන්ධානගත වීමට කාලයක් නොමැති වීම යන කරුණු මත ජනාධිපතිවරණයක් කැඳවා බලය තහවුරු කර ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ. මේ පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මෙම සතියේ දී සිය හිතවතුන් පිරිසකට අදහස් දක්වා තිබිණි. හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගයද වත්මන් ජනාධිපතිවරයාට දීමටද අවධානය යොමු වී ඇති බව සඳහන්ය.

හතරකට ඇමැතිකම් දෙන්නෙම නෑ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ආණ්ඩුවේ අයවැය ලේඛනය ලබන දහහතරවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි. කැබිනට් මණ්ඩලය පිළිබඳව ජනාධිපතිවරයා. අගමැතිවරයා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු සිවු දෙනකුට ඇමැතිධුර නොදීමටද එහි දී එකඟතාවට පැමිණ ඇත. දැනට ඇමැතිධුර දරන ඇතැම් මන්ත්‍රිවරුන්ගේ විෂය පථයන්ද වෙනස් වන අතර මුදල් ඇමැතිධුරයද වෙනස් වීමට නියමිතය.

නව මුදල් ඇමැති සබ්රි

විසි එක්වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති එක් වගන්තියක් වන්නේ ආරක්ෂක ඇමැති ධුරය හැර වෙනත් ඇමැති ධුරයන් දැරීමට ජනපතිට නොහැකි බවය. ඒ අනුව දැන් ජනපතිවරයාට මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති ඇමැති ධුරය දැරීමට නොහැකිය. එම නිසා දැනට විදේශ කටයුතු ඇමැති ධුරය හොබවන අලි සබ්රි මන්ත්‍රිවරයා මුදල් ඇමැති ධුරයට යළි පත් කිරීමට යෝජනා වී තිබේ. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීමට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම මුදල් ඇමැතිවරයාට පැවරෙයි. නව කැබිනට් මණ්ඩලයට සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු කිහිපදෙනකුද එක්වීමට නියමිතය. ඒ පිළිබඳව කතා කිරීම සඳහා ඇමැති හරීන් ප්‍රනාන්දු ජනාධිපතිවරයා හමු විය. ‘‘සජිත්ගෙන් කැඩිලා එන මන්ත්‍රිවරු ඉක්මනට ගන්න.’’ ඇමැතිවරයාගේ ඉල්ලීම වූයේය. ‘‘ඒ වැඩේ යනවා.’’ ජනාධිපතිවරයාගේ පිළිතුර කෙටි විය.

රාජිත ආණ්ඩුවට

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද සිය හිතවතුන් පිරිසක් සමග කළ කතාබහකදී කියා ඇත්තේ ‘‘රාජිතත් එනවලු. එයා එන්නේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකතු කරන්නයි.’’ යනුවෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න ඇතුළු මන්ත්‍රිවරු රැසක් ආණ්ඩුවට එක්වීමේ සූදානම ගැන දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කථිකාවට ලක් වූයේ කලක සිටය.

සල්ලි දීලා එන්න හදන මන්ත්‍රි

හිටපු මුදල් ඇමැතිවරයකු වන රවි කරුණානායකද ආණ්ඩුවේ ඇමැති ධුරයක් ගැනීමට සූදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිතවතුන් සමග ප්‍රකාශ කර තිබේ. ‘‘අපේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකුට සල්ලි දීලා අයින් වෙලා එයා එන්න හදන්නේ.’’ හිටපු ජනාධිපතිවරයා තමන්ට ලද තොරතුරක් හිතවතුන්ට පැවසුවේය.

විපක්ෂනායකගෙන් ටිරාන්ට ඇමතුමක්

ජනාධිපතිවරයා සිය බලය තහවුරු කරගනිමින් සිටියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සමග මහමග විරෝධතාවක නිරත වූහ. ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පාගමනක් හා විරෝධතාවක් පැවැත්විය යුතු බවට විපක්ෂයේ දේශපාලන පක්ෂ සාකච්ඡා කළේ සති තුනක පමණ කාලයක සිටයි. ‘‘මර්දනයට එරෙහිව සටන් කළ යුතුයි. අපිට නිහඬව ඉන්න බැහැ.’’ සජිත් ප්‍රේමදාස සිය මන්ත්‍රි කණ්ඩායමට කීවේය. ඒ අනුව පසුගිය පළමුවැනිදා විරෝධතාව පැවැත්වීමේ අවසන් රැස්වීම පැවැත්විණි. මෙම රැස්වීමට වෘත්තිය සමිති නායකයන්ද එක්ව සිටියහ. ‘‘ආණ්ඩුව විරෝධතාවය මර්දනය කරන්න යනවා. පාගමනක් යන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා.’’ විපක්ෂනායකවරයා අවධාරණය කළේය. ඇතැම් දේශපාලන පක්ෂ විරෝධතාවට එක් නොවන බවට හේතු ඉදිරිපත් කර තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊට එක්වන බව ප්‍රකාශ කර තිබිණි. මෙම රැස්වීමේ දී අනාවරණය වූයේ චම්පික රණවක මන්ත්‍රිවරයා නායකත්වය දෙන 43 සේනාංකයද එක් වන බවයි. මෙම රැස්වීමෙන් පසු විපක්ෂ නායකවරයා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට දුරකතන ඇමතුමක් ද ගත්තේය. ‘‘පෙළපාළියට ගහනවාද?’’ විපක්ෂනායකවරයාගේ ප්‍රශ්නය විය. ‘‘පිටකොටුව හරහා කොටුවට පැමිණීමට උත්සාහ කළොත් නීතිය ක්‍රියාත්මක කරනවා.’’ ඇමැතිවරයා කීවේය. ‘‘මම ආවොත් මොකද කරන්නේ’’ විපක්ෂ නායකවරයා යළිත් ප්‍රශ්නයක් යොමු කළේය. ‘‘නීතිය කඩන්න කාටවත් ඉඩ දෙන්නෙ නැහැ. ඔබතුමා විපක්ෂනායක කාර්යාලයේ සිට මරදානට එන්න. එය නිදහසේ එන්න දෙන්නම්.’’ ඇමැතිවරයා ප්‍රකාශ කරමින් දුරකතන ඇමතුම විසන්ධි කළේය.

සජිත්ට දුන් අවවාදය

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු රැසක් විරෝධතාවට නොයන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා තිබේ. ‘‘ඔබතුමා යන්න එපා. දෙවැනි පෙළ කවුරු හරි යවමු.’’ මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම වූහ. මෙවැනි ඉල්ලීමක් කිරීමට මන්ත්‍රිවරු සතුව රහසිගත තොරතුරක් ද තිබිණි. එම තොරතුරු මන්ත්‍රිවරයකු සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත දැනුම් දී තිබිණි.

ෆොන්සේකා ජනපති වෙන්න හදනවාලු

සරත් ෆොන්සේකා හදන්නේ ඉදිරියේ දී ජනාධිපතිධුර අපේක්ෂකයා වෙන්න. ඒ කුමාර් ගුණරත්නම්ගේ උදව්වෙන්. 89 දී කුමාර් ගුණරත්නම් බේරා ගත්තේ සරත් ෆොන්සේකා. විජේවීර සහෝදරයාටත් පාඩු වුණේ ත්‍රිවිධ හමුදා බලය නැති වුණ නිසා. අඩුම තරමේ සරත් ෆොන්සේකාට බලය තිබෙන නිසා එහි වාසිය ගන්න තමයි ගුණරත්නම්ලා හදන්නේ. සජිත් ඉදිරියට දාගෙන ගියාම ගහන්නෙ නැහැනේ. ඒකෙ වාසියත් ගන්න හදනවා.’’ යනුවෙන් මන්ත්‍රිවරයා මහලේකම්වරයාට තොරතුරු සැලකර සිටියේය. මෙවැනි පසුබිමක් තිබුණත් 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවකද ඊට එක්ව ඇත්තේ එහි නි​යෝජිත පිරිසකගේ විරෝධය මධ්‍යයෙනි. ‘‘ඔය විරෝධතාවට යන්න එපා. ඔවුහු ප්‍රකාශ කළත් මන්ත්‍රිවරයා එම විරෝධතාවට යෑමට තීරණය කළේ වෘත්තිය සමිති නායකයින්ගේ ඉල්ලීම මතය. විරෝධතාව සංවිධානය කර තිබූ දින උදෑසනම සංවිධායක මණ්ඩලයටම ආරක්ෂක අංශ මගින් ලිපි ලැබී තිබුණි. එයින් කියවුණේ විරෝධතා පා ගමනට සහභාගි නොවන ලෙස දන්වාය.

මෛත්‍රි නෑ - දයාසිරි එයි

එහෙත් මරදානේදී විරෝධතාව පවත්වා පා ගමනින් කොටුව දෙසට යාමට විරෝධතාවට එක් වූවන් තීරණය කළහ. සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් දහවල් දොළහ වන විට විපක්ෂ නායක කාර්යාල අසලට රැස් වූහ. ඇතැම් මන්ත්‍රිවරු පැමිණියේ නැත. එම පිරිස විස්සකට වඩා වැඩිය. ඔවුන් සියලු දෙනාම ජංගම දුරකථන විසන්ධි කර ගනිමින් රැඳී සිටි අතර ජංගම දුරකතන සක්‍රිය කළේ විරෝධතාව මරදාන කාර්මික විද්‍යාලය අසලින් නතර කළ විටදීය. ‘‘මෙම විරෝධතාව කඩාකප්පල් කරන්නත් පුළුවන්’’ සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා මෙහිදී පැවසුවේය. විපක්ෂ නායකවරයා මෙම විරෝධතාවට සහභාගි වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊට සහභාගි වීමෙන් වැළකී සිටියේය. ඒ දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා දුන් උපදෙස් හේතුවෙනි. ‘‘ඔබතුමා විරෝධයට එන්න එපා. රැස්වීමට පමණක් එන්න’’ මහලේකම්වරයාගේ උපදේශය විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් සහභාගි වූයේ දුමින්ද නාගමුව පමණි. විපක්ෂනායකවරයා සිය මන්ත්‍රි කණ්ඩායමෙන් කොටසක් එල්ෆින්ස්ටන් රඟහල වෙත කලින්ම පිටත් කළෝය. ඉන්පසු විපක්ෂ නායකවරයා මරදාන දුම්රියපළ අසලට ගොස් පාගමනින් විරෝධතාකරුවන් රැඳී සිටි ස්ථානයට ගමන් කළෝය.

මන්ත්‍රින්ට හූ කියති

කෙසේ වෙතත් පාගමන ආරම්භ කර මරදාන ටෙක්නිකල් හන්දිය ආසන්නයේදී පාගමන පොලිසිය නවත්වනු ලැබීය. මිනිස් පළිහක් ලෙස සිටිමින් පොලිසය පා ගමන නතර කළේ කිසිවෙකු නොසිතූ අයුරිනි. කෙසේ වෙතත් එම විරෝධතාවේ නිරත වන විට විපක්ෂනායකවරයා ඇතුළු මන්ත්‍රීන් ලොරි රථයක ඇටවූ තාවකාලික වේදිකාවක නැග රැස්වීමක් පැවැත්වීමට සූදානම් වූහ. විපක්ෂනායකවරයා වේදිකාවට ගොඩ වූයේ දයාසිරිගේ අත්වාරුවෙනි. ‘‘මයික් දාලා තිබෙන තැන ඉඳලා අඩි දහයක් දුරින් ඉන්න’’ වේදිකාවේ සිටි දේශපාලකයින් ජනතාවගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔවුහු කුපිත වූහ. ‘‘ඔයාලගේ කතා අහන්න නෙවෙයි අපි ආවේ. අපිත් එක්ක ඉදිරියට යන්න එන්න’’ ජනතාව කෑ ගැසූහ. එහෙත් මන්ත්‍රින් කතා පැවැත්වීමට සූදානම් වන විට එක් පුද්ගලයකු වේදිකාවට නැග මයික්‍රොෆෝන ඉවත් කළේය. ජනතාවගේ හූ හඬ වේගවත් වීම නිසා වේදිකාවෙන් පළමුව බැස ගියේ විපක්ෂනායකවරයාය.

හිරුණිකා සජිත්ට බෑ කියයි

ඉන්පසු දයාසිරි ජයසේකර, චම්පික රණවක මන්ත්‍රිවරු වේදිකාවෙන් බැස ජනතාවගේ හූ හඬ මධ්‍යයේ පිටත්ව ගියහ. සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා මරදාන කාර්මික විද්‍යාලය අසලින්ම යළි නිවස බලා පිටත්ව ගියේය. ජනතාව සමග ඉදිරියට යාමට උත්සාහ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාර්ග බාධක බිඳ දැමීමට උත්සාහ දරන අයුරු විපක්ෂනායකවරයා දුටුවේය. ‘‘හිරුණිකා කැන් යූ කම්’‘ කියා විපක්ෂනායකවරයා ඇය තමන් ළඟට කැඳවීමට උත්සාහ කළත් ඇය ආවේ නැත. ‘‘මම ආවේ ජනතාව සමග ඉදිරියට යන්න. රැස්වීම් පවත්වලා කතා පවත්වලා වැඩක් නැහැ’’ ඇයගේ පිළිතුර වූවාය. විපක්ෂයේ ​විරෝධය පැවැත්වෙන විට ජනාධිපතිවරයා සිටියේ පැජට් පාරේ නිල නිවසේය. ඒ නිදහස් සමරු උත්සවය පිළිබඳ රැස්වීමකය. අගමැතිවරයා හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීහුද එහි සිටියහ. මෙහිදී ආරක්ෂක ප්‍රධානීන් විරෝධතාවේ සජීවී තොරතුරු ජනාධිපතිවරයාට කීවේය. එහෙත් ඔහු කිසිවක් ප්‍රකාශ කළේ නැත. ‘‘පොලිස් ආඥා පනත අනුව වැඩ කරන්න කියලා විතරයි මම කියලා තියෙන්නේ’’ ජනාධිපතිවරයාගේ පිළිතුර විය.

දුමින්දත් ආණ්ඩුවටද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද මෙම සතියේ පැවැත්වුණේ පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි. ඇමැති ධුර භාරගත් මන්ත්‍රිවරු ඊට සහභාගි නොවුණත් කලකට පසු දුමින්ද දිසානායක මන්ත්‍රිවරයා සහභාගි වී සිටියේය. මධ්‍යම කාරක සභා රැස්වීමේදීද වචනයක්වත් කතා නොකළ ඔහු රැස්වීම අවසන් වීමෙන් පසුවද එහි රැඳී සිටියේය. පිටතට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර මාධ්‍යයට කතා කර පිටත්ව ගිය පසු මන්ත්‍රිවරයා එළියට ආවේය. මාධ්‍යවේදීන් විමසුවේ ඔබතුමා ඇමැති ධුරයක් භාර ගන්නවාද’’ යනුවෙනි. ඔව්... දුන්නොත් භාර ගන්නවා’‘ මන්ත්‍රිවරයාගේ පිළිතුර විය. නිදහස ජනතා සභාව විසින් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීම ආරම්භ කළේ සති කිහිපයකට පෙරය. මෙම සතියේ සාකච්ඡාව පැවැත්වූයේ උත්තර ලංකා සභාවේ මන්ත්‍රිවරු සමගය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරු උත්තර ලංකා සභාව නියෝජනය කරමින් පැමිණියහ. ‘‘මොනවද බොන්නේ’’ ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා විමසුවේය. ‘‘මේ වෙලාවේ වෙන මොකුත් නැහැ නේද’’ විමල් වීරවංශ මන්ත්‍රිවරයා විමසන විට පිළිතුරු දුන් ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා පැවසුවේ එය තහනම් වචනයක්’’ බවයි.

වාසු, ඩිලාන් පැණි රහට කැමැති හේතුව

සාකච්ඡාව ආරම්භ කරන විට අතුරලියේ රතන හිමියෝ එම ස්ථානයට වැඩම කළහ. ‘‘මට නම් කහට කෝප්පයක් හොඳයි’‘ උන්වහන්සේ පැවසූහ. ‘‘පැණි රසට කැමැති අය ටිකක් රාගී සිතුවිලිවලට බරයි’’ රතන හිමියෝ බණ පදයක්ද වදාළෝය. ‘‘ඒක තමයි ඩිලාන්, වාසු පැණි රසට කැමැති’’ උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා කීවේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ මෙම සතියේ පිරිත් පිංකමක්ද පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රිවරු රැසක් ඊට එක්ව සිටියහ. පිරිත් සජ්ඣායනාව ආරම්භ වීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා කාමරයක අසුන් ගෙන සිටියේය. එම ස්ථානයට යාමට මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය උත්සාහ කළද ආරක්ෂක අංශ එය නතර කළහ. එම අවස්ථාවේ දී ඇය දැඩි ආවේගයෙන් රැස්ව සිටි පිරිසට තමන්ට වූ අසාධාරණය කීවාය. මෙම පිංකමට ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පැමිණෙන විට මන්ත්‍රිවරු පිරිසක් කියා සිටියේ ‘‘දෙරණ 360 දී ඔබතුමා හොඳට උත්තර දුන්නා යනුවෙනි. ‘‘ඒ වුණාට අපිට ආරංචියි ඔබතුමා ට්‍රැක් පනිනවා කියලා.’’ තවත් මන්ත්‍රිවරයෙක් කීවේ ‘‘පිස්සුද මල්ලි මේක අපි හදපු පක්ෂයනේ’’ ඇමැතිවරයාගේ පිළිතුර වූයේය.

මේ අතරේ කඳුකර දේශපාලනයේ විශේෂ සිද්ධියක් ගිය සතියේ සිදු විය

ද්‍රවිඩ ප්‍රගතිශීලී ජනතා පෙරමුණේ පක්ෂ කාර්යාලයක් හැටන් නගරයේ විවෘත කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. එම පෙරමුණේ නායක සී. දිගම්බරන් මන්ත්‍රිවරයා ඇතුළු පිරිස උත්සවය සංවිධානය කළත් ඔහුගේ ප්‍රතිවාදියකු වූ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොන්ඩමන්ටද මේ රැස්වීමට ආරාධනා කර තිබුණි. නමුත් දිගම්බරන් මන්ත්‍රිවරයා ඒ බව දන්නේ උත්සවය ආරම්භ වීමට පැය කිහිපයකට පෙරය. සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂ වැඩවලට තානාපති නිලධාරින් යන්නේ නැති මුත් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස්වරයාද මේ උත්සවයට පැමිණ කතාවක් කිරීම බොහෝ දෙනාගේ කතාබහට ලක් විය. ජීවන් තොන්ඩමන් මන්ත්‍රිවරයා මෙම ස්ථානයට පැමිණෙන විට පාර්ලිමේන්තු මන්ත්‍රි වී. රාධක්‍රිෂ්නන් එම ස්ථානයෙන් පිටව ගියේ විරෝධය පල කරමිනි. රාධක්‍රිෂ්නන් මන්ත්‍රිවරයාගේ ආධාරකරුවන්ද ජීවන් තොන්ඩමන් මන්‍ත්‍රිවරයාට බාධා කරමින් විවිධ දේ කිරීමට උත්සාහ දැරූහ. ‘‘මේ වගේ වැඩ මාත් එක්ක තියා ගන්න එපා.’‘ මන්ත්‍රිවරයා ආධාරකරුවන්ට කීය. වතුකරයේ දෙමළ දේශපාලන පක්ෂ අතර පවතින අර්බුදය තවත් උත්සන්න වීමට මෙයද හේතු විය. උත්සවයෙන් පසු මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා විමසුවේ ‘‘ජීවන්ට එන්න කීවේ කවුද’’ යනුවෙනි. ‘‘මමත් දන්නේ උදේ’’ දිගම්බරන් මන්ත්‍රිවරයාගේ පිළිතුර විය.

බන්දුල ඉන්දියාවේ දී ලෙඩ වෙයි

ඇමැති බන්දුල ගුණවර්ධන මෙම සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ ජාත්‍යන්තර අධ්‍යාපන සමුළුවකට සහභාගි වීමටය. මෙම සංචාරයේ දී හදිසියේ අසනීප වූ ඇමැතිවරයා රෝහල්ගත කෙරුණි. කඩිනමින් සැත්කමට භාජනය කළ ඇමැතිවරයාට වෛද්‍යවරු ප්‍රකාශ කළේ සති දෙකක්වත් විවේක ගත යුතු බවයි. එහෙත් සැත්කමෙන් දිනකට පසු ඇමැතිවරයා එරට ප්‍රවාහන ඇමැතිවරයා හමු වී දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කර ගැනීමට එකඟතාවක් ගත්තේය.

ජනපති බිරිය කෝච්චියෙන් යාපනේට

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිය වන මෛත්‍රි වික්‍රමසිංහ ඉංග්‍රිසි මහාචාර්යවරියකි. ඇය ගිය සතියේ යාපනය විශ්වවිද්‍යාලයේ පැවැති දේශනයකට සහභාගි වීම සඳහා ගමන් කළේ දුම්රියෙනි. ඒ සිය මිතුරියකද සමගය. කොළඹ සිට දුම්රියෙන් යාපනයට ගිය ඇය යළි කොළඹ බලා පැමිණියේ ද දුම්රියෙන් වීම විශ්ෂත්වයකි. උදයජීව
 

More News..