brand logo

හදවත් දිනය අද

29 September 2020

හදවත් හා සම්බන්ධ රෝග හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට සියදෙනෙක් මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊට ප්‍රධානම හේතුව අධි රුධිර පීඩනය වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මෙරට සිදුවන මරණවලින් 83%ක්ම බෝනොවන රෝග ආශ්‍රිතව සිදුවන අතර එයින් මරණ 34%කට හේතුව හෘද හා රුධිරවාහිනී ආශ්‍රිත රෝගයන්ය. එමෙන්ම ලොව පුරා සිදුවන මරණවලින් තුනෙන් එකකට හේතුව හෘද රෝග සහ රුධිරවාහිනී ආශ්‍රිතව හට ගන්නා රෝග තත්ත්වයන් වන අතර එයින්ද 85% කට හේතුව හෘදයාබාධ සහ ආඝාතය හෙවත් අංශභාගය වේ. හෘදය සහ රුධිරවාහිනි සම්බන්ධ රෝග තත්ත්වයන් හේතුවෙන් වසරකට ලොව මියයන ප්‍රමාණය දළ වශයෙන් මිලියන 17.9 කි. ලොවපුරා ජනගහනයෙන් බිලියන 1.13 ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කර ඇති අතර එයින් තුනෙන් දෙකක් අඩු හා මධ්‍යම ආදායම් ලබන පුද්ගලයන් බව තහවුරු වී ඇත. බෝ නොවන රෝග වැළැක්වීමේ ගෝලීය ඉලක්කය වී ඇත්තේ 2025 වන විට අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සංඛ්‍යාව 25% කින් අඩු කිරීමය. අදට (29 වැනිදාට) යෙදෙන ලෝක හදවත් දිනයේ මෙවර තේමාව වී ඇත්තේ 'හදවතින් හදවත සුරකිමු' යන්නය. ඒ වෙනුවෙන් කොටුව දුම්රිය ස්ථානයේදී අද (29 වැනිදා) හා හෙට (30 වැනිදා) දුම්රිය මගීන්ගේ රුධිර පීඩනය මැන අවශ්‍ය උපදෙස් ලබාදීමේ සායනයක් නොමිලේ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව පෙරවරු 09.00 සිට සවස 04.00 දක්වා කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රධාන පිවිසුම අසලදී එම සායනය ද පැවැත්වේ. ශිරන්තනී මානවඩු
 

More News..