brand logo

හතේ පොත තවමත් දරුවන් අතේ

19 February 2020

පාසල් දරුවන්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීම සඳහා ප්‍රකාශයට පත් කළ ‘හතේ අපේ පොත’ කෘතිය පාසල්වලින් යළි එකතු කිරීමට තීරණය කළත් තවමත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇත්තේ ​පොත් 25000ක් පමණි. සිංහල මාධ්‍ය කෘති ලක්ෂ තුනක් සහ දෙමළ මාධ්‍ය කෘති පනස්දහසක් පාසල් දරුවන්ට ​බෙදාදී තිබේ. මෙම කෘතිය සම්බන්ධයෙන් විරෝධයක් මතුවීම ආරම්භ වූ පසු පාසල් දරුවන්ගෙන් පොත් එකතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලදී. බෙදාදී ඇති ​පොත්වලින් තුන් ලක්ෂ විසිපන්දහසක්ම පාසල් දරුවන් සතුව පවතින බව අමාත්‍යාංශය පේනවා දෙයි. නව යොවුන් වියට පා නගන දරුවන්ගේ වෙනස්කම් හඳුනාගැනීම, දෙමාපියන්ට ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුමක් ලබාදීම සහ ළමා අපචාර පවුලේ හිතවතුන්ගෙන් බහුලව සිදුවන බව පාසල් දරුවන්ට අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම පොත සකස් කර තිබේ. පාසල් විෂය මාලාවේ අතිරේක කියවීම් පොතක් ලෙස මෙම පොත ප්‍රකාශයට පත් කරන ලදී. වර්තමාන වැඩිහිටි පරපුරද නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම නිසා දරුවන්ගේ ඇතැම් ප්‍රශ්න කිරීම් හමුවේ අසරණ වී ඇති බව හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම්. රත්නායක පවසයි. එම නිසා විවාහ වන නව යුවළ සඳහා ලිංගික අධ්‍යාපනය ඇතුළත් කෘතියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් මගින් බෙදාදීමටද කටයුතු යොදා තිබේ. ඉදිරියේදී ලිංගික අධ්‍යාපනය පිළිබඳ පොතක් සකස් කිරීමේදී පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ සභාවෙන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති සහ ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමු කරන බව අතිරේක ලේකම්වරයා පවසයි. මෙම පොතේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස​ට අධ්‍යාපන අමාත්‍යාංශය කමිටුවක් පත්කර උපදෙස් ලබා දී තිබේ.   උදයජීව ඒකනායක
 

More News..