brand logo

හතුරුසිංහට සිතූ පැතූ සම්පත් දුන් 'මිතුරන් අතරේ පමණයි' ගිවිසුම මෙන්න

11 November 2019

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහට ලබාදෙන රුපියල් කෝටි ගණනක ප්‍රතිලාභ මාධ්‍යයට අනාවරණය වීම වැළැක්වීම සඳහා දෙපාර්ශ්වය අතර අත්සන් කළ ගිවිසුම ක්‍රිකට් විධායක කමිටුවටද ඉදිරිපත් කර නැතැයි විගණකාධිපතිවරයා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදුකළ විශේෂ වෝහාරික විගණනයට අදාළ වාර්තාවේ මේ බව දැක්වේ. මෙම වාර්තාව පරිච්ඡේද හතකින් සමන්විත වන අතර එක් පරිච්ඡේදයක් සම්පූර්ණයෙන්ම වෙන්කර තිබෙන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා ප්‍රධාන පුහුණුකරුවකු ලෙස චන්දික හතුරුසිංහ බඳවා ගැනීමට අදාළ පරීක්ෂණය සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් චන්දික හතුරුසිංහ ජාතික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙන්නේ 2018.01.01 සිට 2020.12.31 දින දක්වාය. එහෙත් ඔහු ඔස්ට්‍රේලියාවේ සිට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ 2017 නොවැම්බර් 21 දිනය. එදින සිට එම වසර අවසානය දක්වා දින 41ක් සඳහා ඔහුට රුපියල් දහනව ලක්ෂ අසූ හත්දහස් තුන්සිය හැත්තෑ පහක් (1,987,375) වැටුප් සහ දීමනා ලෙස ගෙවා ඇති අතර නවාතැන් පහසුකම්ද ලබාදී තිබේ. ශ්‍රී ලාංකිකයකු වූවත් චන්දික හතුරුසිංහගේ ස්ථීර වාසය ඔස්ට්‍රේලියාවේ බැවින් ඔහු නිර්වාසිකයකු ලෙස සලකා ඇමරිකානු ඩොලර්වලින් වැටුප් සහ දීමනා ගෙවීමටද ගිවිසුම මගින් එකඟ වී ඇත. ගිවිසුමට අනුව චන්දික හතුරුසිංහගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 20,000කි. වැටුපෙන් සියයට 16ක් බදු ලෙස අයකරන ​අතර රජයේ ප්‍රතිපත්ති මත බදු මුදල් වැඩිකළහොත් එසේ වැඩිවන ප්‍රතිශතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවිය යුතුය. වැටුපට අමතරව ඔහුගේ මාසික ජීවන වියදම් දීමනාව ඇමරිකානු ​ඩොලර් 10,000කි. මාසික උපදේශක දීමනාවද ඩොලර් 10,000කි. වැටුප් ගෙවීමට පමා වුවහොත් මසකට සියයට දෙකක ප්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතුය. ලංකාවේ තරගවලදී උප​වේශන දීමනා (Per diem Allowances) ලෙස දිනකට ඩොලර් 50ක් ගෙවනු ලබයි. ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග විදෙස්ගත වීමේදී ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍රයක් සහ එම පන්තියේ නවාතැන් පහසුකම්, ලොන්ඩ්‍රි දීමනා, අන්තර්ජාල පහසුකම්, උපදේශන දීමනාද ගෙවිය යුතුය. තරග සංචාරවලදීද දිනකට ඩොලර් 50ක දීමනාවක්, බිරිඳට හෝ පවුලේ ළඟම සාමාජිකයන්ට ගුවන් ගමන් සඳහා වසරකට ඇමරිකානු ඩොලර් 20,000ක් ලබාදි යුතුයි. මීට අමතරව වසරකට ගෙවීම් සහිතව දින 42ක නිවාඩු, ජාතික කණ්ඩායමට හිමි ජාත්‍යන්තර සෞඛ්‍ය රක්ෂණාවරණයක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ට හිමි ඉන්ධන දීමනාව සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නඩත්තු කරන මෝටර් රථයක්, රුපියල් 135,500ක් වටිනා ජංගම දුරකථනයක් සහ රුපියල් 50,000ක දුරකථන දීමනාවක්, ව්‍යාපාරික තත්ත්වයේ රුපියල් 205,725ක් වටිනා ලැප්ටොප් පරිගණකයක්, ශ්‍රී ලංකා ක්‍රිකට් Brain Center හා සම්බන්ධ වියහැකි මෘදුකාංග සහිත ටැබ් පරිගණකයක්, ගිවිසුමට අනුව චන්දික හතුරුසිංහට ලබාදී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මෙම ගිවිසුම ඒක පාර්ශ්විකව අවසන් කළොත් චන්දික හතුරුසිංහට වසරක වැටුප් හෝ ගිවිසුමේ ඉතිරි වූ කාලය සඳහා වැටුප් යන දෙකෙන් වඩා අඩු අගය ගෙවිය යුතුයි. 2020 ජනවාරි 31 දක්වා ගිවිසුම් අත්සත් කළ හතුරුසිංහව 2019 ජුනි මස පුහුණුකරු තනතුරෙන් ඉවත් කෙරිණි. සේවය අවසන් වූ දිනය දක්වා පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චන්දික හතුරුසිංහට ඩොලර්වලින් ගෙවූ වැටුප් සහ දීමනාවල අගය රුපියල් පහළොස් කෝටි තිස්පන්ලක්ෂ දහනව දහස් හත්සිය අනූ දෙකකි. (15,35,19,792). ඒ මාස දහනවයක් සඳහාය. ඉහත දීමනාවලට අමතරව පූර්ව සාකච්ඡා සඳහා ලංකාවට පැමිණීම වෙනුවෙන් ගුවන් වියදම් ලෙස රුපියල් 744,170ක්ද, හතුරුසිංහ වෙනුවෙන් ලබාදී ඇත. 2017 සිට 2018 දක්වා ඔහු වෙනුවෙන් මෝටර් රථ බදු කුලිය ලෙස රුපියල් දහතුන් ලක්ෂයක්ද ගෙවා තිබේ. චන්දික හතුරුසිංහ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවාගත් පසු ටෙස්ට් තරග 16කට සහභාගි වී ඇති අතර ඉන් තරග හතක් පරාජය වී ඇත. ජයගෙන ඇත්තේ තරග හයකි. ටෙස්ට් ජයග්‍රහණ ප්‍රතිශතය සියයට 38කි. එක්දින තරග 33කට ඉදිරිපත් වී ඉන් ජය ලබාගෙන ඇත්තේ තරග 10කි. තරග 22ක් පරාජය වී ඇත. ජයගත් ප්‍රතිශතය සියයට 30කි. විස්සයි විස්ස තරග 15කට සහභාගි වී තරග 4ක් ජයගෙන ඇත. තරග 10ක් පරාජය වී තිබේ. ජයග්‍රහණය කළ ප්‍රතිශතය සියයට 27කි. චන්දික හතුරුසිංහ පුහුණුකරු ලෙස බඳවා ගැනීමේදී ගිවිසුමේ කොන්දේසි හා ලබාදෙන ප්‍රතිලාභ විධායක කමිටුවට දැනුම් දී නැත. නිලධාරීන් කිහිපදෙනකු පමණක් පෞද්ගලිකව තීන්දු ගෙන ඇතැයි විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කර තිබේ. හතුරුසිංහට ලබාදෙන පාරිශ්‍රමික ප්‍රතිලාභ මොනවාද යන්න මාධ්‍යයට අනාවරණය වුව​හොත් ඔහු වෙනත් රටක පුහුණුකරු ලෙස ඉල්ලුම් කරද්දී වටිනාකම තීරණය කිරීමට බාධාවක් විය හැකි නිසා ගිවිසුම විධායක කමිටුවට ​ඉදිරිපත් කර නැතියිද විගණකාධිපතිවරයාට අනාවරණය වී තිබේ. චන්දික හතුරුසිංහ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්සන් කර තිබෙන මෙම ගිවිසුම විනිවිදභාවයකින් තොර, ආයතනයේ ව්‍යවස්ථාවටද පටහැනි ගිවිසුමක් බව පවසන විගණකාධිපතිවරයා මෙම ගිවිසුම මගින් හතුරුසිංහගේ අපේක්ෂාවන් ඉක්මවා ප්‍රතිලාභ ලබා නොදුන් බව තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත්ව නැතැයි සඳහන් කර සිටී. අදාළ ගිවිසුම නිතී අංශයටද ඉදිරිපත් කර නැත. හතුරුසිංහ හට ඉතා වාසි සහගත ලෙස ගිවිසුම සකසා ඇත. චන්දික හතුරුසිංහට පසුගිය ජුනි 30 දක්වා ගුවන් ගමන් සඳහා පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් හතළිස් හතර ලක්ෂ පහළොස් දහස් නවසිය එකක් වැය කර තිබේ. ඔහු ඉපැයූ ආදායමෙන් රුපියල් දොළොස් ලක්ෂ එකළොස් දහසක් උපයන විට ගෙවීමේ බදු රජයට ලබාදීම පැහැරහැර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු වෙනුවෙන් රුපියල් එක්කෝටි පනස්පන් ලක්ෂ තිස් හත්දහස් හත්සියක් බදු ලෙස ගෙවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම එක් සේවකයකු වෙනුවෙන් ගෙවූ මෙම බදු මුදල මෙරට ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් වැය කළ හැකිව තිබූ බවද විගණකාධිපතිවරයා පවසා සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවාසිදායක කොන්දේසි මත චන්දික හතුරුසිංහ ජාතික ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවාගෙන ඇතැයිද විගණකාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. අජිත් අලහකෝන්
 

More News..