brand logo

හජ් උත්සවය අදයි

01 August 2020

ඉස්ලාම් භක්තිකයන්ගේ අතිශය වැදගත් ආගමික උත්සවයක් වන හජ් උත්සවය අදට යෙදී තිබේ. නබි නායකතුමන්ගේ ඉගැන්වීමට අනුව ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි. කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමග සුපුරුදු ලෙස මක්කම වන්දනා කිරීමට මුස්ලිම් ප්‍රජාවට නොහැකි වුව ද එම වන්දනාව තුළින් පිළිඹිබු වන අල්ලාහ් දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සාමකාමී සහජීවනයේ උද්යෝගය වර්ධනය කර ගැනීමට මෙදවස උපකාරී වනු ඇතැයි හජ් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. හජ් උත්සවයේ වැදගත්කම වටහාගෙන සිටින ශ්‍රී ලාංකික රජය, මුස්ලිම් ප්‍රජාවට සිය ආගමික වතාවත්හි නිරතවීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බව ජනාධිපතිතුමා එම නිවේදනයේ සදහන් කර ඇත. මේ අතර හජ් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ කොවිඩ් 19 වැළැක්වීමේ පියවර සහ නිර්දේශ අනුගමනය කරමින් නිවසට සීමා වී චාම් ව හජ් සැමරීමට සිදුව ඇති බවයි. සියලු ලෝක වාසී ජනතාව මුහුණ දෙන කොරෝනා ව්‍යසන තත්ත්වය ඉක්මනින් පහව යන ලෙසත්, එයින් ජනතාව ආරක්ෂා කර දෙන ලෙසත් අද දිනයේදී හජ් උත්සවය සමරමින් අල්ලාහ් දෙවියන්ගෙන් යැදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ.
 

More News..