brand logo

හකීම් අද සහරාන් ගැන කතාකරයි

23 October 2019

සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට තීරණය කිරීමත් සමග අන්තවාදී පුද්ගලයකු වූ සහරාන් හා නැති සම්බන්ධකම් මතු කර පෙන්වමින් තම දේශපාලන දිවිය විනාශ කිරීමට පිරිසක් කුමන්ත්‍රණය කරන බවත්, ඒ සම්බන්ධව අද (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බවත් මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා මල්වතු මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමුවෙහි පවසා සිටියේය. මහනුවර මල්වතු මහ විහාරයට පැමිණි රවුෆ් හකීම් මහතා ඊයේ (22 වැනිදා) පස්වරුවේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැ දැක, තමන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබෙන කුමන්ත්‍රණය සම්බන්ධව උන්වහන්සේ දැනුවත් කරනු ලැබීය. තමා කිසිදු ලෙසකින් සහරාන් සහ ඔහුගේ කණ්ඩායමේ පුද්ගලයන් සමග ආශ්‍රයක් නොතිබුණු බවත් 2015 මැතිවරණයෙන් පසු කාත්තන්කුඩියේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා තුවාල ලැබූවන් හා හානිවූ දේපොළ පිළිබඳ සොයා බැලීමට තමන් එහි ගිය අවස්ථාවේ ලබාගත් ඡායාරූපවලට වැරදි අර්ථ කථනයක් ලබා දෙමින් පිරිසක් දේශපාලන වාසි ගැනීම පිණිස ඒවා ප්‍රසිද්ධ කර තිබෙන බවද ඇමැතිවරයා පවසා සිටියේය . කාත්තන්කුඩි රෝහලට ගිය අවස්ථාවේ තුවාලකරුවන් අතර මෙම පුද්ගලයාද සිට ඇති බවත් තමන් ඔහු කවුද කියා දැන නොසිටි බවත් ඒ මහතා පැවසුවේය. පාස්කු ප්‍රහාරයට අදාළව පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව හෙට (23 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඉන් පසුව තමන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන බවත් කී ඒ මහතා ජනතාව නොදන්නා බොහෝ දේ එහිදී හෙළි වනු ඇති බවද අවධාරණය කළේය. වසර 25 ක දේශපාලන දිවිය තුළ තමන් සෑම විටම අන්තවාදය ප්‍රතික්ෂේප කළ බවත් අද මෙම කුමන්ත්‍රණය දියත් කරන අයගේ පහත් වුවමනාවන් කිසිසේත් ඉටු නොවන බවත් ඒ මහතා කීය. මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නෝ කිසිදු විටෙක අන්තවාදයට හිස නොනමන බවද තමන්ට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ඉදිරිපත් කිරීමෙන් ජනතාව ඇත්ත දැන ගන්නේ යැයි පවසා සිටියහ. කමල් සුරවීර - මහනුවර
 

More News..