brand logo

සෞඛ්‍ය සේවාවේ 2,150 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දීම අද

05 February 2019

සෞඛ්‍ය සේවාවේ විවිධ ක්‍ෂේත්‍ර සඳහා බඳවා ගන්නා පුද්ගලයන් 2,150 දෙනෙකුට අද (05දා) දිනයේදී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිත බව වාර්තාවේ. මේ යටතේ වෛද්‍ය සැපයීම් සහකාර තනතුර සඳහා 53 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිත අතර මෙම පිරිසට පත්වීම් ලබාදුනහොත් හෙට (06දා) සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි. කෙසේ වුවද අද (05දා) දිනයේදී විශේෂ ශ්‍රේණිය වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ 13ක්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ 116ක්, ඖෂධවේදී 176ක්, විකිරණ ශිල්පී 41ක්, විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු 09ක්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී 10ක්, දන්ත චිකිත්සක 03ක්, සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී 845ක්, වෛද්‍ය සැපයීම් සහකාර 53ක්, නිවාස භාරකාරීනී/භාරකරු 131ක්, ආහාර නිරීක්ෂිකා 54ක්, ෆෝක් ලිෆ්ට් 07ක්, උපස්ථායක (පුහුණුව සඳහා) 692ක් වශයෙන් 2,150 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිතව ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) පස්වරු 2.00ට අරලියගහ මන්දිරයේදී මෙම පත්වීම් ලබාදීම සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. කෙසේ වුවද මෙලෙස පත්වීම් ප්‍රදානය කිරීමේදී වෛද්‍ය සැපයීම් සහකාර තනතුර සඳහා බඳවා ගැනීමට නියමිත 53 දෙනාට සෞඛ්‍ය සේවයට අදාළ සුදුසුකම් හෝ දැනුවත්කමක් නොමැති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
 

More News..