brand logo

සෞඛ්‍ය නිර්දේශ නොතකන මහජන රැස්වීම් දෙවැනි රැල්ලකට අතවැනීමකි

02 June 2020

විශාල හා ජනාකීර්ණ මහජන රැස්වීම්වලින් වළකින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය නියම කර ඇති නිර්දේශ නොතකා මෑත කාලීනව ඇතැම් පිරිස් කටයුතු කිරීම දැඩි කනස්සල්ලට කරුණක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය ප්‍රකාශ කරයි. සමාජ දුරස්ථ භාවය පවත්වා නොගනිමින් මෙලෙස මහජන රැස්වීම් සහ ඒකරාශීවීම්වලට ජනතාව එක්රැස් වීම ඔස්සේ රටේ කොවිඩ් වයිසරය දෙවැනි රැල්ලක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි වනු ඇතැයි ද එම සම්මේලනය පෙන්වා දෙයි. වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන ආකාරයට කොවිඩ් පිළිබඳ ආරම්භක අනතුරු ඇඟවීමේ සිට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහාය සහිතව සෞඛ්‍ය අංශ විසින් වසංගතය දැඩි පාලනයකට ලක් කර ඇත. මෙම ජයග්‍රහණයට හේතුව සමාජයීය වශයෙන් රැස්වීම් වළක්වා ගැනීම, භෞතික දුරස්ථභාවය පවත්වා ගැනීම, දෑත්වල සනීපාරක්ෂාව පවත්වා ගැනීම හා මුහුණු ආවරණ භාවිතයයි. කෙසේ වෙතත් පසුගිය දින කිහිපය ඇතුළත රටේ එම නිර්දේශයන් පුළුල් ලෙස ක්‍රියාත්මක වී නොමැති බව තමන්ට නිරීක්ෂණය වී ඇතැයි එම සම්මේලනය ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය මත වයිරසය සම්ප්‍රේෂණය වීම් වැඩි අවදානමක් පවතින අතර ප්‍රජාව වෙතින් නැවත මතුවීමේ ඉඩක් පවතින බවද පෙන්වා දෙයි. එසේම ඇතැම් මහජන රැස්වීම්වලට රාජ්‍ය හා පෞද්ගලික නාළිකා ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද විශාල ප්‍රචාරණයක් ලබා දීමද කනගාටුවට කරුණක් බව පෙන්වා දෙන එම සම්මේලනය බලධාරීන් විසින් මෙම අනතුරුදායක තත්ත්වය වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව ද අවධාරණය කරයි. නයන තරංග ගමගේ
 

More News..