brand logo

සෞඛ්‍ය කොන්දේසිවලට යටත්ව සිය සේවා යළි ආරම්භ කරන්න - රජය දැනුම් දෙයි

18 April 2020

ඇඳිරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත රාජ්‍ය ආයතනවල සේවක පිරිසෙන් 1/3 ක් සේවයට වාර්තා කළ යුතුය. සෙසු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයෙන් සේවයට වාර්තා කළයුතු පිරිස 50% කි. සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන කාර්ය මණ්ඩල සාමාජිකයන් නිවසේ සිට සිය රාජකාරි ඉටු කළ යුතු බව නියම කර ඇත. එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළ යුතු සේවක සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීම සිදුවේ . යම් දවසක කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 1/3 ට සහ 50% ට අයත් පිරිස වෙනුවට ඊළග දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානීන්ට නිදහස තිබේ. කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදී කොරෝනා වෛරසය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුලුමනින්ම අනුගමනය කළ යුතුය. සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම ආයතන ප්‍රධානියාගේ වගකීමකි. පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00ට විවෘත කරන ලෙස නියම කෙරේ. පෞද්ගලික ආයතනවල සේවයට වාර්තා කළ යුතු සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතුය. මේ ආයතන ද සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති කොරෝනා පාලන පිළිවෙත් අකුරටම පිළිපැදිය යුතු වන්නේය. යළි විවෘත කෙරෙන කාර්යාලවල සේවකයන්ගේ ගමන් පහසුව සැලසීමට ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සේවාව විධිවිධාන සැලසිය යුතුය. රජයේ සෙසු ආයතනවල සේවයට වාර්තා කරන සංඛ්‍යාව සීමා කළ ද රාජ්‍ය ප්‍රවාහන සේවාවන්හි සහ අත්‍යාවශ්‍ය සේවාවන්හි සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා කිරීම අනිවාර්ය වේ. බස් රථ, වෑන් රථ හෝ දුම්රිය මැදිරිවල ගමන් කළ යුත්තේ ඒවායේ මුළු ධාරිතාවෙන් අඩක් පමණ වන මගීන් සංඛ්‍යාවකි. සියලු වාහන ද විෂ බීජ හරණයට ලක් කළ යුතුය. මේ කොන්දේසිවලට යටත්ව සිය සේවා යළි ආරම්භ කරන්නැයි රජය පෞද්ගලික ප්‍රවාහන ආයතනවලින් ඉල්ලා සිටී.
 

More News..