brand logo

සෞඛ්‍යයට අදාල නව නිර්මාණ බිහිකිරීමට මුල්‍ය ප්‍රතිපාදන

09 June 2020

කොවිඩ් -19 තත්ත්වය මැද සියගණනක් නව නිර්මාණ බිහිවීම දක්නට ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. එබඳු නව නිර්මාණකරුවන් දිරිගන්වා ස්වදේශීය නිෂ්පාදන මෙරට සෞඛ්‍ය සේවාවට වැඩි වැඩියෙන් ලබා දීමට දිරිගැන්වීමේ වැඩපිලිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කරයි. මේ යටතේ සෞඛ්‍යයට අදාල නව නිර්මාණ බිහිකිරීම සඳහා තාක්ෂණික සම්බන්ධීකරණය හා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියෙන් විශේෂ වැඩපිලිවෙලක් සකස් කොට ඇත. මෙහිදී නව නිර්මාණ යටතේ උපකරණයක්,තාක්ෂණයක්,සන්නිවේදන මෙවලමක් හෝ මෙහි සඳහන් නොවන ඕනෑම අදහසක් සලකා බලනු ලැබේ. නිර්මාණයේ අවසන් ප්‍රතිඵලය ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව විධිමත් කිරීමට එනම් ගුණාත්මක භාවය දියුණු කිරීමට කිරීමට හෝ සවිබල ගැන්වීමට දායක විය යුතුය. එබඳු අදහස් පිලිබඳව ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට දන්වන්නේ නම් එම අදහස වැඩිදියුණු කර ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන අවස්ථාව දක්වා ගෙන ඒමටත් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමටත් සූදානම් බවත් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. මෙසේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල නව නිර්මාණ බිහි කිරීමට කැමති පුද්ගලයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk වෙත හෝ ව්‍යාපෘතියේ වෙබ් අඩවිය වන www.pssp.health.gov.lk (එහි innovation තීරය click කරන්න) ප්‍රවේශ වී ව්‍යාපෘතියට එක් වීමට අභිලාෂය පල කිරීමේ ලිපිය අයදුම් පත්‍රය සමග බාගත (download) කරගත යුතුය. එසේත් නොමැතිනම් psspmoh.lk@gmail.com වෙත පණිවුඩයක් යොමු කිරීමෙන් විස්තර හා අයදුම්පත් ලබාගත හැකිවෙයි. අයදුම්පත සම්පූර්ණ ඒ සමඟ ඇති විස්තර අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය වෙත යොමු කිරීමෙන් ඉදිරි කටයුතු පිලිබඳව දැනුම්දෙනු ඇත.නව නිර්මාණ කරුවන් සඳහා මෙය ස්වර්ණමය අවස්ථාවක් වන බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පෙන්වා දෙයි. වැඩි විස්තර - ඉමේෂා අබේසේකර මහත්මිය, ව්‍යාපෘති නිලධාරී , ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය .දුරකතනය (0112680549 / 0718123858)
 

More News..