brand logo

සොර සැමියා එක්ක පැන ගිය අම්මට දරුවන්ට වඩා බල්ලා ලොකුවෙයි

22 September 2020

සිය සැමියාගෙන් වෙන් වී අනියම් සැමියා සමග යෑමට සූදානම් වූ සිව්දරු මවක් තම දරුවන් වෙනුවට නිවසේ ඇතිකරන බලු පැටියා ඉල්ලා සිටීමේ පුවතක් කුරුවිට පොලිසියෙන් වාර්තා වේ. මොවුන් පදිංචිව සිටින්නේ කුරුවිට අවට ගම්මානයකය. විවාහ වී ඇත්තේ ප්‍රේම සබඳතාවකිනි. කුඩා කඩයක් පවත්වාගෙන යමින් ජීවනෝපාය සලසාගත් ඔවුනට කිසිදු අගහිඟයකින් තොරව සතුටින් කල් ගෙවීමට හැකි විය. දැන් මේ කැදැල්ලේ දරුවන් සිව් දෙනෙකි. වැඩිමහලු දරුවන් තිදෙනා පාසල් යයි. බාලම දරුවා පෙර පාසල් වියේය. බාලම දරුවා සමග පෙර පාසලට පැමිණෙන බිරිඳ ආපසු යන්නේ පෙර පාසල ඇරුණු පසුවය. මෙසේ කල් ගෙවෙද්දී ඇය නගරයෙදී හමු වූ පුද්ගලයකු සමග අනියම් ඇසුරක් ගොඩනගා ගත්තාය. මේ ආරංචිය විවාහක සැමියාගේ කනටද ගියේය. ඔහු ඇයට කොතරම් අවවාද කළද පලක් වූයේ නැත. මේ හේතුවෙන් නිවසේ නිතරම රණ්ඩුසරුවල් ඇති වීම නිසා ඒවා පොලිස් පොතේද සටහන් විය. කීප අවස්ථාවකම දෙපාර්ශ්වයන් කැඳවා අවවාද කළ ද අඬදබරවල අඩුවීමක් නොවිණි. නිවසේ දරුණු ලෙස ආරවුලක් ඇති වීමෙන් පසු ඇය නැවත පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමුවාය. එය විභාග කිරීමේදී ඇය තදින්ම පැවසුවේ තමාට අනියම් සැමියා සමග යාමට අවශ්‍ය බවය. පොලිස් නිලධාරියා කොතෙකුත් කරුණු කාරණා පහදා දුන්නද ඇයගේ තීරණයේ වෙනසක් වූයේ නැත. පොලිස් පොතේ අත්සන් තැබූ ඇය විවාහක සැමියාගෙන් කළේ එකම එක ඉල්ලීමකි. ඒ නිවසේ ඇතිකරන සුරතල් බලු පැටියා ලබාදෙන ලෙසයි. පොලිස් නිලධරියා ඇයි දරුවන් එපාදැයි ඇගෙන් විමසද්දී ‘‘මට ඕනෑ බලුපැටියා විතරයි’’ කීවේ දරුවන් සිව්දෙනාගේ මුහුණුවත් නොබලාය. ශ්‍රියන්ති බණ්ඩාර - එරත්න
 

More News..