brand logo

සේවය අවසන් කිරීමේ වන්දිය ඉහළ දමනවාට හාම්පුතුන්ගේ විරෝධය

02 January 2021

සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනත යටතේ වන්දි ගෙවීමේ සීමාව ඉහළ නැන්වීමට රජය ගෙන ඇති තීරණයට සේවායෝජකයන්ගේ සම්මේලනයේ (හාම්පුතුන්ගෙ සම්මේලනය) දැඩි ලෙස විරුද්ධ වී ඇත. පසුගිය සතියේ කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වාද සහභාගි වූ ජාතික කම්කරු උපදේශක සභාවේ දී සේවා යෝජකයන්ගේ සම්මේලනය මෙම විරෝධය මතු කර තිබේ. එම රැස්වීමේදී 2005 වර්ෂයේ දී හඳුන්වා දුන් සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ දී සේවායෝජකයන් විසින් ගෙවිය යුතු රුපියල් මිලියන 1.25 (රුපියල් ලක්ෂ 12.5)ක වන්දි මුදල රුපියල් මිලියන 2.5 (ලක්ෂ 25) දක්වා ඉහළ නැංවීම පිළිබඳව රජයේ පාර්ශ්වය අවධානය යොමු කර ඇත. එහි දී සේවායෝජකයන් සිය බරපතළ විරෝධය මතුකරමින් පෙන්වා දී ඇත්තේ පෞද්ගලික අංශයේ සියලුම ව්‍යාපාර කෙරෙහි එම පියවර විශාල බලපෑමක් ඇති කරනු ඇති බවයි. එසේම විදේශීය ආයෝජකයන් කෙරෙහිද මෙම තීරණය සෘජුවම බලපානු ඇතැයිද සේවායෝජකයෝ පෙන්වා දී තිබේ. මෙම රැස්වීමේ දී 2021 අයවැය යෝජනාවක් ලෙස හඳුන්වා දුන් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ නැංවීම කෙරෙහිද ඇමැතිවරයා සේවායෝජකයන්ගේ අවධානය යොමු කර ඇත. දැනට පවතින නීතියට අනුව කාන්තා සහ පිරිමි සේවක පිරිස් සඳහා අවුරුදු 50 හා 55 යන වයස් සීමාවලදී ඊපීඑෆ් (EPF) ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරයෙන් විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ නැංවීමට රජය අදහස් කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ. මෙම වයස් සීමා සංශෝධනය වෙනුවෙන් කම්කරු කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් සියලුම පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම සඳහා විශේෂ කමිටුවක්ද පත් කර ඇත. නයන තරංග ගමගේ
 

More News..