brand logo

සේවකයන් ගෙවිය යුතු කෝටි 512ක බදු ලංවිම ගෙවලා

12 October 2019

ඇමැති මණ්ඩල තීරණද උල්ලංඝනය කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සිය සේවකයන් සඳහා රුපියල් පන්සිය දොළොස් කෝටි පනස් හත් ලක්ෂයක මුදලක් උපයන විට ගෙවීමේ බදු වශයෙන් ගෙවා ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් උපයන විට බදු ගෙවිය යුතු බවට ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇත්තේ 2010 වසරේදීය. බදු මුදල් ගෙවිය යුත්තේ සේවකයා විසින් වුවත් 2010 වසරේ සිට සේවකයාගේ උපයන විට ගෙවීමේ බද්ද ගෙවා තිබෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලය බව ජාතික විගණන කාර්යාලය විසින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට වාර්තා කර තිබේ. ඒ අනුව 2010 සිට 2018 වර්ෂාවසානය දක්වා සේවකයන් විසින් ගෙවිය යුතු රුපියල් පන්සිය දොළොස් කෝටි පනස් හත් ලක්ෂ හතළිස් හතර දහස් හයසිය දොළහක් (5,125,744,612.00ක්) විදුලි බල මණ්ඩලය විසින් ගෙවා ඇත. සේවකයන්ට මෙසේ බදු සහන ලබා දෙමින් විදුලිබල මණ්ඩලය සිදු කරන්නේ ඇමැති මණ්ඩල තීරණ සහ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ උල්ලංඝනය කිරීමක් බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි. මේ සම්බන්ධව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමත්‍යාංශයටත් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවටත් අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇතැයිද ජාතික විගණන කාර්යාලය පවසයි. අජිත් අලහකෝන්
 

More News..