brand logo

සේනා මැඬලනු නොහැකිද? වී, උක්, තේ වගාවවටත් හානිය පැතිරේ

07 January 2019

සේනා මැඬලනු නොහැකිද? වී, උක්, තේ වගාවවටත් හානිය පැතිරේ ආගන්තුක සේනා දළඹුවා ගැන මේ වන විට නොදන්නා කෙනකු නොමැති තරම්ය. අනුරාධපුරය, අම්පාර, මොනරාගල වැනි ප්‍රදේශවල රජකරගෙන සිටි ‘සේනා’ දැන් රටේ තවත් ප්‍රදේශ ගණනාවක අණසක පතුරවමින් සිටී. මේ වන විට හම්බන්තොට, යාපනය, පොළොන්නරුව, මාතලේ, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලද මෙම ආක්‍රමණික දළඹුවාගේ ව්‍යාප්තිය දැකගත හැකිය. ඇමෙරිකාවේ හැදී වැඩුණු මෙම ආක්‍රමණිකයා ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාවෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කරන්නට යෙදී ඇත. මෙම ලිපිය සැකසෙන අවස්ථාව වන විට සෙවණගල උක් වගාවට ද වී සහ කුරහන් වගාවටද මෙම ආක්‍රමණිකයා හානි කරන මට්ටමක් උදාවෙමින් පවතී. ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ සහ පොළොන්නරුව සිංහපුර ප්‍රදේශයේ වී වගාවට ද යම් තරමක් හානිකර ඇති ‘‘සේනා’’ පලතුරු හා එළවළු බෝගවලට ද හානි කිරීමේ අවදානමක් පෙන්නුම් කරයි. අනුරාධපුර ප්‍රදේශයේ එළවළු වගාවටද හානි කළ බවට වාර්තා වෙයි. මෙලෙස බෝග වර්ග 100කට පමණ හානි කිරීමේ හැකියාව මෙම දළඹුවා සතුය. එහෙත් සේනා දළඹුවා මර්දනය සඳහා නිශ්චිත ක්‍රමවේදයක් මෙතෙක් හඳුනාගෙන නොමැත. අම්පාර - බඩඉරිඟු වගාවලින් පළමු වරට දළඹුවා හඳුනාගෙන මේ වනවිට මාස 2 1/2ක් පමණ වෙයි. කීට විද්‍යාඥයින්ට පවා ස්ථිර මර්දන ක්‍රමවේදයක් කෙරේ යොමු වීමට මෙම කාලය ප්‍රමාණවත් වී නැත. ‘සේනා’ ශ්‍රී ලංකාවට පැමිණියේ ඉන්දියාවෙන් බවට විශ්වාස කෙරෙන අතර ඊට පෙර අප්‍රිකාව ආශ්‍රිත බෝග වගාවන්ට විශාල වශයෙන් හානි පමුණුවා ඇත. එලෙස අප්‍රිකාව ඇතුළු රටවල් 44ක් පමණ ‘සේනා’ ගේ තර්ජනයට ලක්ව තිබේ. වැසි ජලය මුල් කරගෙන සිදු කෙරෙන බඩඉරිඟු වගාවට මෙවර අක්කර 164631කට වැඩි භූමි ප්‍රමාණයක් වෙන් වූයේ නිසි කලට වැසි ලැබීම හේතුවෙනි. එහෙත් බඩ ඉරිඟු ගොවියාට මුහුණ පෑමට සිදුවූයේ අනපේක්ෂිත තත්ත්වයකටය. මින් පෙර කිසි දිනක මුහුණ නොදුන් වගා හානියකට ගොවිබිම ගොදුරු විය. හඳුනා නොගත් ආක්‍රමණිකයෙක් බඩඉරිඟු වගාව විනාශ කරමින් සිටියේය. වගාවේ පත්‍ර කා දමන මෙම ආගන්තුක ආක්‍රමණිකයා නිමා නොවන කුස ගින්නකින් පෙළෙන්නකු බව ගොවියාට තේරුම් ගියේය. ඉතා වේගයෙන් පත්‍ර කා දමමින් මළපහ කරමින් නැවත නැවත පත්‍ර කා දමමින් මෙම ආක්‍රමණිකයා බඩ ඉරිඟු වගාව හපකරමින් සිටියේය. එම ‘බඩජහරියා’ට ශ්‍රී ලංකාවේදී තැබූ නාමය වූයේ ‘ආගන්තුක සේනා දළඹුවා’ යන්නයි. එය Fall Army Worm - ෙෆා්ල් ආමි වෝම්’ යන එම දළඹුවා හඳුන්වන ඉංග්‍රීසි නාමය පදනම්ව බිහිවූවකි. දළඹුවාගේ ශීඝ්‍ර ව්‍යාප්තිය ‘සේනා’ යන නම පටබැඳීමට හේතු වී ඇත. මෙම ‘බඩජහරි දළඹුවා’ගේ ග්‍රහණයට හසුව විනාශ වූ අක්කර දහස් ගණනක බඩඉරිඟු වගාවන් අනුරාධපුරය, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල දැකගත හැකිය. කුරුණෑගල, පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, ගම්පහ ආදී දිස්ත්‍රික්ක ගණනාවකට ද මේ වන විට මෙහි බලපෑම එල්ල වී තිබේ. බඩ ඉරිඟු වගා කළ අම්පාරේ අක්කර 27181කින් අක්කර 6795ක් පමණ ගිල දැමීමට මෙම ‘බඩජහරියා’ සමත් වී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වගා කළ අක්කර 42702කින් අක්කර 27100ක පමණ බඩඉරිඟු වගාව මේ වන විට විනාශ වී ඇත. මොණරාගල දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගා කළ බිම් ප්‍රමාණය අක්කර 66278කි. ඉන් අක්කර 40000කට අධික ප්‍රමාණයක් දළඹුවා බිලිගෙන තිබේ. පොළොන්නරුවේ වගා කොට ඇති අක්කර 24ක පමණ ප්‍රමාණයෙන් අක්කර 17ක්ම විනාශ වී ඇතැයි පැවසේ. හම්බන්තොට, කුරුණෑගල, මාතලේ, මහනුවර සහ මහවැලි කලාපවල අක්කර 9000 පමණ වගාවෙන් අක්කර 2000කට වැඩි ප්‍රමාණයකට ද මෙම හානිය බලපා ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පේරාදෙණිය ගන්නෝරුව සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාපෘති පුහුණු) අනුර විජේතුංග පවසන පරිදි දළඹුවා හානි කිරීමේ තීව්‍රතාව 5% සිට 80% දක්වා පවතී. දළඹුවාගේ හානි වාර්තා වුවද එය 5% හෝ ඊට අඩුනම් ක්ෂේත්‍රයේදීම එය මර්දනය කිරීමට හැකියාව පවතී. හානි පමුණුවා ඇති ප්‍රදේශ වශයෙන් සලකා බලද්දී කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රධාන වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඩබ්ලිව්.එම්. ගුණපාල එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහදිවුල්වැව කෝන්වැව ප්‍රදේශයේ අක්කර 4ක පමණ බඩඉරිඟු වගාකොට ඇති ගොවියෙකි. ඔහුට අනුව මෙම දළඹුවාගේ හානිය බැලූ බැල්මට එකවර හඳුනාගත නොහැකිය. හඳුනාගත හැකි වන්නේ ශාකයේ ගොබය පරික්ෂා කිරීමෙනි. දළඹුවන් වාසය කරන්නේ ගොබය ඇතුළතය. එහි සිට බඩඉරිඟු ශාකයේ කොළය ආහාරයට ගනී. මුල් අවදියේ කොළ පාටින් දිස්වන දළඹුවා කල්යත්ම දුඹුරු මිශ්‍ර කළු පැහැයකට පත්වෙයි. ගුණපාල ගොවි මහතාගේ අක්කර 4ක මුළු බඩ ඉරිඟු වගාවම මෙම ‘බඩජහරි’ දළඹුවාට බිලිව ඇත. ඒ මාස 1 1/2ක් පමණ වයස බඩඉරිඟු ය. බඩඉරිඟු ශාකයේ කොලයේ සළබයා බිත්තර දැමීමෙන් පසු දින 3-5 අතර දී පණුවා එළියට පැමිණෙන බව පැවසේ. සළබයකු එකවර බිත්තර 160ක් පමණ මුදා හරින අතර බඩඉරිඟු ශාකයේ කොළ සූරා කමින් ආහාරයට ගන්නේ ඉන් බිහිවන පණුවන්ය. සාමාන්‍යයෙන් ගැහැනු සළබයකු තම ජීවිත කාලය වන සති 3කදී බිත්තර 1500ක් පමණ මුදා හරී. දළඹුවාගේ ශීඝ්‍ර ව්‍යාප්තියට එය හේතුවක් වී ඇත. සුළඟේ වේගය අනුව සළබයකුට දිනකට කිලෝ මීටර් 100ක් පමණ පියාඹා යාමේ හැකියාවක්ද පවතින බව කෘෂි විද්‍යාඥයෝ පෙන්වා දෙති. දළඹුවාගේ ශීඝ්‍ර ව්‍යාප්තියට එයද හේතුවකි. අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඩඉරිඟු වගාවට ද මෙම දළඹුවාගෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත. කේ.එම්. ආරියරත්න මහතා එහි ඒකාබද්ධ බඩඉරිඟු ගොවි සංගමයේ කැඳවුම්කරුය. ඔහු අක්කර 30ක පමණ බඩඉරිඟු වගා කළ ගොවියෙකි. සති 3ක් පමණ වන ඔහුගේ බඩඉරිඟු ගස්වල තැනින් තැන කොළ කා තිබෙනු දැක පරීක්ෂා කිරීමේදී දළඹුවා දැක ගැනීමට හැකිවූ බව ඔහු පවසයි. දළඹුවාගේ පසුපස හරි හතරැස් හැඩයකින් යුක්තය. දෑස්වලට ඉහළින් බෙදී යන ඉංග්‍රීසි Y අකුරේ හැඩයට ඉරිකෑලි දෙකක් දැකිය හැකිය. අඟලක් පමණ දිග වන අතර සාමාන්‍ය දළඹුවෙකුට බොහෝ සෙයින් සමානකම් කියයි. ආරියරත්න ගොවි මහතාගේ අක්කර 30ක බඩඉරිඟු වගාවේ දළඹුවන් විනාශ කිරීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 3 1/2 පමණ කෘමිනාශක භාවිත කොට ඇත. එහෙත් දළඹුවා විනාශ වී නැත. යම් පාලනයක් පමණක් සිදුව ඇතත් එය සාර්ථක මට්ටමක නොපවතී. ඇතැම් අයගේ අදහස වී ඇත්තේ බඩඉරිඟු බීජ සමග මෙම පළිබෝධකයා පැමිණෙන්නට ඇති බවකි. මුල්වරට ඇමෙරිකාවෙන් හඳුනාගනු ලබන දළඹුවා පසු කාලීනව නයිජීරියාව ඇතුළු රටවල් ගණනාවක බෝගවලට දැඩි හානි පමුණුවා ඇත්තේ 2016 වර්ෂයේදී පමණය. 2018 වර්ෂයේදී ඉන්දියාවට ද එම වර්ෂයේදීම ශ්‍රී ලංකාවටද සංක්‍රමණය වී ඇත. ඔක්තෝබර් බඩඉරිඟු වගාව ආරම්භ වන මාසය ලෙස සැලකෙයි. බඩඉරිඟු බීජ බොහෝ දුරට භාවිත වන්නේ එම කාලවකවානුවේදීය. බීජ සමග මෙම පළිබෝධකයා පැමිණ ඇති බවට සැකකරන්නට හේතු වී ඇත්තේ එබැවිනි. බඩඉරිඟු බීජ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන්නකි. වැඩි වශයෙන් තායිලන්තයෙන් ද ඇතැම් විට ඇමෙරිකාවෙන් ද එලෙස ආනයනය කෙරෙන බව ගොවීන්ගේ පෙන්වා දීමයි. එසේ ආනයනය කෙරෙන බීජ කිලෝ ග්‍රෑම් 5ක පැකට්ටුවක් රුපියල් 6500-7000 අතර මිලකට මෙරට වෙළෙඳපොළේ අලෙවි කෙරේ. අක්කරයක බඩ ඉරිඟු වගාවක් සඳහා බීජ කිලෝ ග්‍රෑම් 5ත් 6ත් අතර ප්‍රමාණයක් යෙදිය යුතු වෙයි. ට්‍රැක්ටර් කුලී, පොහොර සහ කුලීකරුවන් සඳහා ද වියදම් කළ විට අක්කරයක බඩඉරිඟු වගාවකට රුපියල් හතළිස් දහසකට වැඩි මුදලක් වැයවෙන බව ගොවීහු පෙන්වා දෙති. මෙවර පළිබෝධනාශක සඳහාද විශාල මුදලක් වැය කිරීමට ගොවියාට සිදුව තිබෙන්නේ ආක්‍රමණික දළඹුවා නිසාය. කෘමිනාශක වර්ග 3ක් මාරුවෙන් මාරුවට වගාවට යෙදීමෙන් දළඹුවා මර්දනය කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දළඹුවාගේ ශ්වසන පද්ධතියට, ආමාශයට සහ පිට ස්ථරයට හානි පැමිණවීමට එම කෘමිනාශක සමත් බව පැවසේ. කෘමිනාශක මාරුවෙන් මාරුවට යෙදීමෙන් මොන ක්‍රමයට හෝ දළඹුවා විනාශ කිරීම අරමුණ වෙයි. එම එක් කෘමිනාශකයක ග්‍රෑම් 400 බෝතලයක් රුපියල් 1400ක් පමණ මිලය. රුපියල් 1080, 1150 වැනි මිල ගණන්වලට ද කෘමිනාශක පවතී. ඇතැම් විට අක්කරයක වගාවකට එවැනි කෘමිනාශක බෝතල් දෙක තුනක් යෙදීමටද සිදුවෙයි. දළඹුවා මර්දනයට යොදාගත හැකි කෘමිනාශක වර්ග 12ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කොට තිබේ. එහෙත් එම කිසිවකට දළඹුවාගේ සම්පූර්ණ මර්දනයක් පෙන්නුම් නොකරයි. කෘමිනාශක යොදා දින දෙක තුනකින් යළි දළඹුවා වර්ධනය වීම ගොවියාට මහත් හිසරදයක් වී ඇත. දළඹුවා කෘමිනාශක සඳහා දිනෙන් දින අනුවර්තනය වන තත්ත්වයක් පෙන්නුම් කරන බව ගොවීහු පවසති. ඇතැම් තහනම් කෘමිනාශක භාවිතයට පවා ගොවියා යොමු වී සිටින්නේ එම හේතුව නිසාය. ‘‘දළඹුවා මේ වන විට බඩඉරිඟු කරලටත් හානි කරන තත්ත්වයක් මතුවෙලා තියෙනවා. ණය වෙලා ගන්න බඩ ඉරිඟු බීජවලින් තමයි අපි වගාව ආරම්භ කළේ. දැන් වගාව රැකගන්න ඕන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන කිසිම රසායනයකට දළඹුවා විනාශ වෙන්නේ නැහැ. යන්තම් හෝ මර්දනය වෙන්නේ තහනම් කර තියෙන කෘමිනාශකයට විතරයි’’ යැයි ඇතැම් බඩඉරිඟු ගොවීහු පවසති. එම තහනම් රසායනය වකුගඩු ආබාධ මෙන්ම වෙනත් රෝගකාරක සඳහාද හේතුවන්නක් බව කෘෂි විශේෂඥයෝ පෙන්වා දෙති. තහනම් කොට තිබෙන්නේ එම හේතුව නිසාය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ නොකරන ලද එම රසායන භාවිතයෙන් පසේ සංයුතිය වෙනස් වීටම ලක්වෙයි. එමෙන්ම බැර ලෝහ ලෙස රසායනයන් මතුපිට පසට එක්වනු ඇත. බඩඉරිඟු කරලටම මෙම රසායනය යොදන බැවින් බඩඉරිඟු ආහාරයට ගැනීම දැඩි සෞඛ්‍යය ප්‍රශ්න ඇති කරන්නක්ද විය හැකිය. එහෙයින් මෙම තත්ත්වය දිගුකාලීන මහා ව්‍යසනයක් ඇති කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පෙන්වා දෙයි. රටේම ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති මෙම දළඹු ව්‍යසනය කෙරේ රටේ ජනාධිපති, අගමැති ඇතුළු බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතු බව ද නාමල් කරුණාරත්න පවසයි. ගොවියාට තනිව මුහුණ දීමට නොහැකි මෙම අවස්ථාවට කෘෂි රක්ෂණ මණ්ඩලයට හෝ මැදිහත්ව රක්ෂණ ආවරණයක් ලබා දිය යුතුව පවතින බව ගලෙන්බිඳුණුවැව හුරුළු ගොවි පදනම සඳහන් කරයි. වී වගාවට ලැබෙන පොහොර සහනය මෙන් පොහොර සහනයක්ද වී වගාවට ලැබෙන රක්ෂණ ආවරණය මෙන් රක්ෂණ ආවරණයක්ද එමෙන්ම වගා හානි සඳහා වන්දි මුදලක්ද බඩඉරිඟු ගොවියාට ලබාදිය යුතු බව එම ගොවි සංවිධානයේ නිර්දේශයයි. රජය මගින් මේ වන විට ඩ්‍රෝනකැමරා ආධාරයෙන් කෘමිරසායන ඉසීමට කටයුතු කරමින් සිටී. බඩඉරිඟු ගොවීන් සඳහා නොමිලේ කෘමිනාශක ලබාදීමට කටයුතු කර ඇත. ඒ එක් අයකුට අක්කරයක භූමි භාගයක් සඳහාය. අම්පාර කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂ එස්. චන්දන පවසන පරිදි මේ වන විට අක්කර 600ක් වැනි ප්‍රමාණයකට නොමිලේ කෘමි රසායන ලබාදී ඇත. ඔහුට අනුව මුල් වරට මෙම දළඹුවා හඳුනා ගැනීමට ලැබී ඇත්තේ ද අම්පාර ප්‍රදේශයෙනි. එසේ හඳුනා ගනු ලැබුවේ තිඹිරිගොල්ල 24 - C ග්‍රාම සේවා වසමෙන් බව තොට්ටම කෘෂි උපදේශක සී.වයි. අලහකෝන් පවසයි. ඒ අනුව තිඹිරිගොල්ලේ අක්කර 4ක පමණ වන බඩඉරිඟු වගාවකින් කුඩා පණු විශේෂයක් හඳුනා ගැනීමට ලැබී ඇත්තේ ඔක්තෝබර් මාසයේදීය. ඒ තිඹිරිගොල්ල තුෂාරා නිරෝෂණීගේ බඩඉරිඟු වගාවෙනි. ඒ වන විට දෙමසක් පමණ වූ බඩඉරිඟු වගාවට හානි කළ මෙම පණුවා ආක්‍රමණික දළඹුවා ලෙස පසුව හඳුනා ගැනීමට ලක්වෙයි. බඩඉරිඟු වගාවේ පීදි ඇති කරල්වලට පවා මේ වන විට දළඹුවා හානි කරමින් සිටින බව නිරෝෂණී මහත්මිය සඳහන් කරයි. කෘෂි නිලධාරීන්, කීට විද්‍යාඥයින් ඇතුළු බොහෝ පිරිසකගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් මේ වනවිට දළඹුවා ජය ලබමින් සිටී. දින 10ක් පමණ වන බඩඉරිඟු වගාවකට ද දළඹුවා හානිකරමින් පවතින බව අම්පාරේ චම්පිකා සමරකෝන් ගෙවිලිය පෙන්වා දෙයි. ඇය අක්කර 2 1/2ක බඩඉරිඟු වගා කොට තිබේ. බඩඉරිඟු ගස් කුඩාම අවදියේ සිට ගස මෝරන මාස 3 - 3 1/2 කාලය දක්වාම හානි කරන දළඹුවා අවසානයේ බඩඉරිඟු කරලට ද හානි පමුණුවන බව මේ අනුව පෙනී යයි. ගන්නොරුව උද්‍යාන බෝග පර්යේෂණායතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ එස්. වැලිගමගේ පෙන්වා දෙන පරිදි මෙම ආගන්තුක සේනා දළඹුවා එසේත් නැතිනම් ගොවීන් සඳහන් කරන පරිදි බඩජහරි දළඹුවා එකම සෘජු උපක්‍රමයකින් විනාශ කළ නොහැක. ඒ සඳහා උපක්‍රම ගණනාවක් භාවිත කළ යුතුව තිබේ. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී මෙන්ම ඩෙංගු මර්දනයේදීද විවිධ උපක්‍රම භාවිත කළා සේම මෙම දළඹුවා මර්දනය සඳහාද විවිධ උපක්‍රම යෙදිය යුතුව අැතැයි වැලිගමගේ මහතා පවසයි. එහිදී අනුගමනය කළ යුතු එක් මූලික පියවරක් වන්නේ යාන්ත්‍රික පාලනයයි. එනම් අතින් අල්ලා දළඹුවා විනාශ කර දැමීම වේ. බඩ ඉරිඟු වගාව නිතර පරීක්ෂා කළ යුතු අතර කන්නය ප්‍රමාද වී වගාව ආරම්භ කිරීම සුදුසු නොවේ. යූරියා වැනි නයිට්‍රජන් බහුල පොහොර වැඩි පුර නොයෙදීමට ද වග බලා ගත යුතුය. නයිට්‍රජන් වැඩි වූ විට ශාකයේ දලු දැමීම වැඩිවන නිසා දළඹුවා එම දලු ආහාරයට ගනිමින් රිසි සේ වැඩීමට ලක්වීම ඊට හේතුවයි. දළඹුවා සිටින බවට හඳුනාගත් ස්ථානවලට දහයියා අළු හෝ ළිපේ අළු දැමීම ද උපක්‍රමයක් ලෙස භාවිත කළ හැකිව තිබේ. ඉඩඉරිඟු ශාකයේ ගොබයට සියුම් වැලි සමග මිශ්‍ර කළ අළු දැමීම ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගෙන ඇත. මෙලෙස වැලි දැමීම මගින් දළඹුවාගේ සිරුර කැපී විනාශ වීම ඊට හේතුවයි. දළඹුවා බඩඉරිඟු කරල තුළද සිටින බැවින් කරල් ප්‍රවාහනයේදී දැඩි පරීක්ෂා සහගත විය යුතුය. එමගින්ද බෝවීම පාලනය කරගත හැකිය. ආසාදිත කරල් හඳුනාගත් පසු කෑලි කෑලිවලට කපා පුළුස්සා දැමිය යුතුවෙයි. එක උපක්‍රමයක් නොව මෙම විවිධ උපක්‍රම භාවිතය දළඹුවාගේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනයට හේතු වෙයි. කොහොඹ ඇට මගින් සහ තෙල් මගින්ද දළඹුවා බෝවීම පාලනය කළ හැක. කොහොඹ තෙල්, දළඹුවා ඉන්නා ස්ථානයට පමණක් ඉසිය යුතුය. කොහොඹ ඇට ග්‍රෑම් 300-500 අතර ප්‍රමාණයක් හොඳට අඹරා වතුර ලීටර් 10කට කවලම් කොට එම වතුර පෙරාගෙන දියර සබන් තේ හැන්දක් ද එකතු කළ යුතුය. පසුව එම ජලය දළඹුවා සිටින ස්ථානයට ඉසිය යුතුවෙයි. දළඹුවා විනාශ කිරීම සඳහා විශේෂ උපක්‍රමයක් කෙරෙහිද කෘෂි විද්‍යාඥයින්ගේ අවධානය මේ වන විට යොමුව ඇත. ඒ ‘ෆෙරමෝන්’ නමැති කෘමිනාශක උගුල කෙරෙහිය. එම උගුලට පිරිමි සළබයින් හසුකර ගැනීම සිදුවේ. උගුලේ ‘ෆෙරමෝන්’ බෙහෙත් වර්ගය ඇත. එමගින් සළබයාගේ ගැහැනු සතා නිපදවන රසායන ද්‍රව්‍යයක සුවඳ විහිදෙයි. ඒ වෙත ඇදී එන පිරිමි සළබයා උගුලට හසුවනු ඇත. වගා අක්කර දෙකහමාරකට මෙම උගුල් 6ක් පමණ භාවිත කිරීම ප්‍රමාණවත් වෙයි. එම උගුල් ආනයනය සඳහා මේ වන විට මූලික කටයුතු සියල්ල සූදානම් බව කෘෂි විද්‍යාඥ වැලිගමගේ සඳහන් කරයි. දෙමළිච්චන්, කහ කුරුල්ලන් වැනි දළඹුවා ආහාරයට ගන්නා පක්ෂි විශේෂ වගා බිමට ගෙන්වා ගැනීම කෙරේද මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතී. මෙම දළඹුවා ව්‍යාප්ත වූ අප්‍රිකානු රටවල මෙවැනි ජෛව පාලන ක්‍රම සාර්ථක ප්‍රතිඵල ලබා ඇත. මෙම උපක්‍රමවලට අමතරව නිර්දේශිත කෘමිනාශක යෙදීම ද අනුමත ක්‍රමවේදයයි. ප්‍රාදේශීය සහකාර කෘෂි උපදේශකගේ සිට නියෝජ්‍ය කෘෂි අධ්‍යක්ෂ සහ පළාත් කෘෂි අධ්‍යක්ෂ දක්වා නිලධාරීන්ගෙන් දළඹුවා මර්දනයට උපදෙස් ලබාගත හැකිව පවතී. 1920 දුරකථන අංකයට ඇමතීමෙන් මෙම ගැටලුවලට උපදෙස් ලබාගත හැකිව තිබේ. කෙසේ වුවත් මේ වන විට මෙම දළඹුවා වී වගාව ඇතුළුව රටේ ප්‍රධාන බෝග වගාවන්ටද තර්ජනයක් වෙමින් පවතී. එබැවින් වගකිවයුත්තන් දැනට වඩා වැඩි අවධානයක් ඒ කෙරෙහි යොමු කළ යුත්තේ දළඹුවා මර්දනය ගොවියාට තනිව කර ගත හැකි සීමාවෙන් ඔබ්බට ගොස් ඇති බැවිණි. එසේ නොවුණහොත් හෙට දිනයේ අපේ දොඩම්, පේර මෙරටින් තුරන් වී රට බඩඉරිඟු කන්නට අපට සිදුවනු ඇත. තුෂාර උඩවත්ත  
 

More News..