brand logo

සේනා නසන්න ජනපතිගෙන් උපදෙස්

22 January 2019

කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඬලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ සේනා දළඹු විශේෂය ව්‍යාප්තවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති තර්ජනයට මුහුණදීම සඳහා ගතයුතු හදිසි පියවර පිළිබඳ සොයා බැලීමට අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමටත් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්ය සාධන බළකායක් ද පිහිටුවමින් අවශ්‍ය පියවර ක්‍රියාත්මක කරමින් සිටින අතර එම බලකාය නිතිපතා රැස්වෙමින් මෙම හදිසි උවදුර මැඩලීමට කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.
 

More News..