brand logo

‘සේනා’ට ගොදුරු වූ ගොවීන්ට වන්දි නොගෙව්වොත් දැඩි ක්‍රියාමාර්ගයකට

19 January 2019

‘සේනා’ දළඹුවා නිසා බඩඉරිඟු වගාවෙන් සියයට 30%-35% ප්‍රමාණයක් විනාශ වී තවත් සියයට 50%කට වැඩි ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇති නිසා එම ගොවීන්ට වන්දි ගෙවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පැවැසීය. සලබයන් විනාශ කිරීම සඳහා රුපියල් ලක්ෂ පන්සීයක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙන් කර ඇතත් එම සතාගෙන් හානියට පත් ගොවීන්ට වන්දි ගෙවීමට මේ වනතෙක් මුදල් වෙන් කර නොමැති බව ඒ මහතා පැවැසීය. අම්පාර, අනුරාධපුරය, කුරුණෑගල, මොනරාගල, හම්බන්තොට, මාතලේ, පුත්තලම, පොළොන්නරුව, බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක බඩඉරිඟු අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වගා කරයි. ගොවීන් 25000කට වැඩි ප්‍රමාණයක් එම වගාවේ නිරත වන බව කරුණාරත්න පැවැසීය. ‘‘ආණ්ඩුව කියන්නේ සුළු හානියක් කියලා මේක. ගොවීන් කබලෙන් ළිපට වැටිලා ඉන්නේ. කන්න ගණනාවකින් නියඟයෙන් පස්සේ මේ සේනා දළඹුවාගෙන් බැටේ කෑවා. තාම ආණ්ඩුව වගාවන්ට වන්දි ගෙවන්න වැඩපිළිවෙළක් හදලා නෑ. දළඹුවා මර්දනයටත් වෙන් කරලා තියෙන්නේ ලක්ෂ 500යි. හැබැයි පසුගිය දවස්වල ආණ්ඩු හදන්න මන්ත්‍රීවරයෙකුත් ලක්ෂ 500ට වඩා විකිණෙන බව ජනාධිපතිවරයා කිව්වා. එනිසා පරක්කු නොකර ගොවීන්ට වන්දි ගෙවන්න කටයුතු නොකළහොත් ඒ වෙනුවෙන් ඔවුන් සමග අපි පාරට බහිනවා’’ යැයි ඒ මහතා පැවැසීය.
 

More News..