brand logo

සෙලාන් බැංකුව ජංගම සහ ඩිජිටල් සේවා රැසක් සමගින් වගකීම් සහගත බැංකුකරණයට ජනතාව දිරිගන්වයි

25 April 2020

පවත්නා අභියෝගාත්මක තත්ත්වය හමුවේ ජනතාවට අඛණ්ඩව බැංකුකරණ පහසුව පිරිනැමීමට සෙලාන් බැංකුව පෙරමුණ ගෙන සිටී. මෙම කාලය තුළ නිවසින් පිටතට ගමන් කිරීමේ අපහසුතාව නිසා බැංකුකරණ කටයුතු ඉටුකර ගැනීමට නොහැකිව සිටින පාරිභෝගික ජනතාව වෙනුවෙන් සෙලාන් බැංකුව සිය ජංගම ATM සේවාව, බහු මාධ්‍ය පාරිභෝගික උපකාර ක්ෂණික ඇමතුම් අංක, අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ පහසුකම් තවදුරටත් සවිබල ගන්වා ඇත. ගෝලීය වශයෙන් සෞඛ්‍ය වසංගතයක් පවතින මෙවැනි අවස්ථාවක ශීඝ්‍රයෙන් වර්ධනයවන ආර්ථික අවිනිශ්චිතතාව හේතුවෙන්, ඩිජිටල් බැංකුකරණ පහසුකම්වලට යොමුවීම සඳහා පාරිභෝගිකයන් දක්වන උනන්දුව මැනවින් අවබෝධ කර ගනිමින් සෙලාන් බැංකුව, www.seylan.lk වෙබ් අඩවියේ ඇති සිය අන්තර්ජාල බැංකුකරණ සේවාව හරහා අන්තර්ජාල මුදල් හුවමාරු, අන්තර්ජාල උපයෝගිතා බිල්පත් පියවීම්, අන්තර්ජාල ගැනුම් ඇතුළු තවත් සේවා රැසක් පිරිනැමීමට කටයුතු කර ඇත. මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා දියත් කෙරෙන ජාතික ක්‍රියාන්විතයට සහයෝගය ලබා දීමේ අරමුණින්, බාධාවකින් තොර බැංකුකරණ මූල්‍ය සේවා ලබා දීම සඳහා සිය ඩිජිටල් නවෝත්පාදන කටයුතු තවදුරටත් වේගවත් කරන බවට ද සෙලාන් බැංකුව ප්‍රතිඥා දෙයි. මෙම තීරණාත්මක අවස්ථාවේ පාරිභෝගික තෘප්තිය සහ පහසුව සෙලාන් බැංකුවේ ප්‍රමුඛතාවවන බැවින් ඔවුන්ගේ බොහෝ බැංකුකරණ අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් සෙලාන් බැංකු කණ්ඩායම 2020 මාර්තු මස 31 වනදා ජංගම ATM සේවාව ආරම්භ කළේය. ඇඳිරිනීතිය ක්‍රියාත්මකවන කාලය තුළ එක්රැස් වීමෙන් හෝ දීර්ඝ පෝළිම්වල රැඳී සිටීමෙන් වැළකී මුදල් ආපසු ගැනීමේ හැකියාව Visa, Master හෝ Lanka Pay කාඩ්පතක් හිමි ඕනෑම පාරිභෝගිකයෙකුට මෙම සෙලාන් ජංගම ATM රථය මගින් අවස්ථාව උදා වේ. හැව්ලොක් නගරය, සොයිසාපුර, ටොරින්ටන් මහල් නිවාස, රාජගිරිය, පෑලියගොඩ, මහරගම, කොට්ටාව, හල්පිට, SOS ළමා ගම්මානය, ගොරකපිටිය, ඇරැව්වල, දෙහිවල, ජම්පටා වීදිය, කොටහේන, තෙලවල, නෙළුම්පුර, බොරුපන සහ කඳවල ආදී ප්‍රදේශ රැසක් මේවන විට ද ජංගම ATM රථය ආවරණය කර ඇති අතර ඉදිරියේදී මෙම සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට බැංකුව අපේක්ෂා කරයි. සාමාන්‍ය ඇමතුම් මධ්‍යස්ථාන මෙහෙයුම් කටයුතු මෙන්ම 077 200 88 88 වට්ස්ඇප් අංකය හරහා ද පාරිභෝගික බැංකුකරණ අත්දැකීම පුළුල් කිරීමට කටයුතු කර ඇති බැවින් මෙම වසංගතයෙන් වැළකීම සඳහා සිය ඩිජිටල් බැංකුකරණ සේවා භාවිත කරන ලෙස සෙලාන් බැංකුව සියලු ම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
 

More News..