brand logo

සෙනාලි තමයි මාව යෝජනා කළේ

06 September 2021

ඉන්දියානු චිත්‍රපටයක වැඩ කරනවා

රේස් පදින්න කැමති නිසයි මේ චරිතය තෝරා ගත්තේ

මහන්සිවෙන තරමට ගෙවීම් නැහැ

මම අඩු මුදලට වැඩ කරන්නේ නැහැ

හේෂාන් මනුල නිරූපණ ක්ෂේත්‍රයේ කලක් රැඳිලා ඉන්න ශිල්පියෙක්. ඔහු නිවේදනයටත් රංගනයටත් පය තිබ්බේ ඒ ගමන අතරතුරයි.සිරි දළදා ගමනය,යශෝධරා චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන් අතරට ආපු මනුල කාලෙකට පස්සේ ටෙලි නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ට මුණගැහෙනවා.රේස් එක්ක දුවන ජීවන රේස් එක ගැන කියන්න ඔහුට බොහෝ කාරණා තිබුණා.

මනුල ආස කරන දේවල් එක්ක අලුත් වැඩකින් පේන්න අරගෙන?

ඔව්. ඒ අලුත් වැඩේ ධනුෂ්ක රේමන්ඩ් අධ්‍යක්ෂණය කරන රේස්. සෑහෙන කාලෙකට පස්සේ තමයි මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ. මේ නිර්මාණයටත් මම මුලින් බෑ කිව්වා. මට මුලින්ම කතා කළේ රාධික කියන චරිතයට. මම නිරූපණ කටයුතු කරන සමහර බ්‍රෑන්ඩ්වල ගිවිසුම් තියෙනවා. ඒකත් එක්ක මට විලන් චරිතයක් කරන්න බැරිකම තිබ්බා. ඊට පස්සේ අධ්‍යක්ෂතුමා මගෙන් ඇහුවා කොණ්ඩේ කපන්න පුළුවන්ද කියලා. උවිඳු කියන චරිතයට. මම එයට එකඟ වුණා. උවිඳු කියන්නේ රේස් පදින්න දක්ෂ තරුණයෙක්. මමත් කාර් රේස් පදින්න කැමැති කෙනෙක්. බයික්වලටත් ආස කෙනෙක්. ඒ නිසා ආසාවෙන් ඒ චරිතයට සම්බන්ධ වුණා. ඒ පැතිකඩ වගේම මුඩුක්කු ප්‍රදේශවලට තියෙන කුණු ප්‍රශ්නය ගැනත් මේ නිර්මාණයෙදී කතා කරනවා. ඒකත් විශේෂ දෙයක්.  

මේ නිර්මාණයට ඔබගේ නම යෝජනා කරලා තිබුණේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් කියන්නේ ඇත්තද?

සෙනාලි ෆොන්සේකා තමයි මගේ නම මේ නිර්මාණයට යෝජනා කරලා තිබුණේ. ඇය ප්‍රසිද්ධ ගොඩක් අයව ඇසුරු කරන කෙනෙක්. නමුත් රේස් ටෙලි නිර්මාණයට මගේ නම තමයි යෝජනා කරලා තිබුණේ. මේ චරිතයට හරියන්නේ මම කියලා ඇය කියලා තිබ්බා. සෙනාලි වුණත් මට කියන්නේ හැංගිලා ඉන්න එපා එළියට එන්න කියලා. හොඳ වැඩවලින් එළියට එන්න මමත් කැමැතියි. ඒකයි ඉඳලා හිටලා හරි වැඩකින් එළියට එන්නේ.

ඕනකම තිබිලත් මනුල නිර්මාණවල වැඩිපුර පේන්න නැත්තේ ඇයි?

මම නිරූපණ ක්ෂේත්‍රයේ වෘත්තීමයභාවයකින් වැඩ කරන්නේ. මම ඉන්දියානු අධ්‍යක්ෂකවරු එක්ක වැඩ කරලා තියෙනවා වෙළෙඳ දැන්වීම්වල. ඒවා එක්ක ලංකාවේ ටෙලි නාට්‍ය චිත්‍රපට දිහා බලද්දි අහසට පොළොව වගේ ගතියක් දැනෙනවා. මම මේ ක්ෂේත්‍රයට බණිනවා නෙමෙයි. මම ඔය වෘත්තීයමයභාවය ගැන අධ්‍යක්ෂකවරුන්ගෙන් අහන්න ගිහින් මට වැඩ නැති වෙලත් තියෙනවා. මම හිතන්නේ රංගන ශිල්පියෙකුට යම් වෘත්තීයමය ගරුත්වයක් තියෙන්න ඕනේ. සමහරු අපිට වැඩවලට කතා කරනවා. ඒත් ඒ මහන්සියට වටිනාකම ගෙවන්න කැමැති නැහැ. වැඩ කරන්න කැමැති වුණාට මම නිර්මාණයකට සම්බන්ධ වෙද්දි ගොඩක් දේවල් හිතනවා. අපිට කතා කරන නිර්මාණ කෙරෙන විදිහ ගැන දැනගත්තම අකැමැත්තෙන් හරි ඒ නිර්මාණ කරන්න බෑ කියන්න වෙනවා. ඒ වගේ කාරණා නිසා තමයි මම නිතර පේන්න නැත්තේ.

ඒ කියන්නේ ලැබෙන ඕන වැඩකින් මූණ පෙන්නගන්න ඔබට ඕනේ නෑ?

නෑ. කොහොම හරි ක්ෂේත්‍රයට එන්න ඕනේ කියලා හිතාගෙනනේ සමහරු ක්ෂේත්‍රයට එන්නේ. ඕන වැඩකට කොහොම හරි මූණ ඔබාගෙන ප්‍රසිද්ධ වෙන්න ඕනේ කියන තැන මම නැහැ. ඕන දහ ජරාවක් කරලා දැන් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්නේ. මම ඒ තැනට වැටෙන්නෙත් නෑ. යම් ගරුත්වයක් තියාගෙන වැඩ කරන්න මම කැමැතියි. නිරූපණ ක්ෂේත්‍රයේ මම ඒ තැන හදාගෙන තියෙනවා. වෙළෙඳ දැන්වීමක් කළත් හයි බජට් වැඩවල මම ඉන්නේ. ඒකයි හොඳ වෙළෙඳ දැන්වීම්වල මම පේන්න ඉන්නේ. පිරිමි පාර්ශ්වයෙන් වැඩිම කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නෙත් මම. ටෙලි නාට්‍ය, චිත්‍රපටවලින් වුණත් මම කවදා හරි අයින් වෙද්දි බාල වැඩ කරලා නෑ කියන තැන හදාගත්තොත් ඒක මට වටිනවා.

මනුල අඩු මුදලට වැඩ කරන කෙනෙක් නෙමෙයි කියලද ඔය කියන්නේ?

මුදල ගැන හිතන්නේ නැතුව මම නම ගිය අධ්‍යක්ෂකවරයෙක්ගේ වැඩක් කළා. නමුත් එහෙම වැඩ කළාම අපිට ඒවගේම වැඩ කරන්න තමයි කතා කරන්නේ. ඒ තත්ත්වය මට තේරුණා. මුදල ගැන හිතන්න ඕනේ නෑ කිව්වොත් ඒක වැරැදියි. වෘත්තීයමය ගරුත්වය කියන දේ මුදල එක්කත් සම්බන්ධයි. නිකන් වැඩ කරන්න යද්දී කිසිම දෙයක අගයක් නෑ. මම වැඩක් කරද්දී මගේ වටිනාකම කියනවා. හේෂාන් මනුල අඩුවට වැඩ කරන්නේ නෑ. මොකද මම කරන දෙයට උපරිම කැප වෙනවා. අඩු ගානේ මම දර්ශන තලයකට ගියාම දුරකථනයවත් අතට ගන්නේ නෑ. මම වෘත්තීයමයභාවයකින් රංගනය කරන්න කැමැතියි. හැම දෙයක්ම ලාබෙට අඩුවට කරන්න හිතන නිසා තමයි අපේ ක්ෂේත්‍රයට වැරදිලා තියෙන්නේ. මම කියන්නේ අපි කරන දේ හරියට කරන්න ඕනේ. බැරිනම් නොකර ඉන්න ඕනේ.

ඔබට ඔය ප්‍රතිපත්ති රකින්න පුළුවන් තරමේ ආර්ථික ස්ථාවරයකුත් තියෙනවද?

මට දැනට මගේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මම අඳින ඇදුම් ගොඩක් මමම නිර්මාණය කරගන්නේ. මම ලෝකේ අලුත් ෆැෂන් ගැන හොයනවා. මගේ බ්‍රෑන්ඩ් එක වැඩි දියුණු කරගෙන යනවා. තව පොඩි පොඩි ව්‍යාපාර කිහිපයක් කරගෙනත් යනවා. ඒ ස්ථාවරය අපිට තියෙන්න ඕනේ. ආර්ථික ස්ථාවරයක් නැත්නම් වැඩකට කතා කරන්නෙත් අපේ තත්ත්වය බාල කරලා.

මනුල හෙන ගණන්කාරයෙක් කියලා සමහරුන්ට හිතෙයි?

අනේ මේක මගේ ලොකුකමවත් ගණන්කාරකමවත් නෙමෙයි. ඕනම රැකියාවක් කරද්දී ඒ රැකියාව කරන කෙනාට වටිනාකමක් තියෙනවා. ගොඩක් අය ඒ වටිනාකම දන්නේ නෑ. මම මගේ වටිනාකම අවතක්සේරු කරන්න කැමැති නැහැ.

මොනවද අලුත් වැඩ?

කොරෝනා එන්න කලින් ඉන්දියානු චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න හිටියේ. කොරෝනා ප්‍රශ්නය එක්ක ඒ කටයුත්ත ටිකක් කල් ගියා. ළඟදි කරපු වෙළෙඳ දැන්වීමකටත් මාව තෝරාගත්තේ ඉන්දියාවෙන්. හොඳ වැඩත් එක්ක ඉදිරියෙදි මාව දකින්න ලැබෙයි. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..