brand logo

සෙනසුරාදා වනවිට ගෑස් හිඟය ඉවරයි ගෑස් සමාගම් කියයි

30 October 2019

දිවයින පුරා පවතින ගෘහස්ථ ගෑස් සිලින්ඩර් හිඟය ලබන සෙනසුරාදා වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි ගෑස් සමාගම් ඊයේ (29 වැනිදා) සහතික වී ඇත. කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝකගේ ප්‍රධානත්වයෙන් ගෑස් සමාගම්වල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ගෑස් හිඟය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත් විණි. මෙම සාකච්ඡාවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිගේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එම්. නුසර් ද එක්ව සිටියේය. ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වල ප්‍රධානීන් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ගෑස් නිකුත් කිරීමේදී ජාත්‍යන්තරයේ පැවති ගැටලු හේතුවෙන් හිඟය නිර්මාණය වූ බවයි. එහිදී නෞකා පැමිණීමේ ප්‍රමාදයක්ද සිදුවූ බව, සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ. අවශ්‍ය තරම් ගෑස් තොග මේ වන විට ලැබෙන අතර ඉදිරියේදී මාස තුනකට අවශ්‍ය ගෑස් තොග පවත්වගෙන යාමටද සමාගම් එකඟ වී තිබේ. ගෑස් රැගත් නෞකා පැමිණීමේදී ඉන්දියාවේ පැවැති සුළි කුණාටුද බලපෑම් එල්ල කිරීමද ප්‍රමාදයට තවත් හේතුවක් බව මෙහිදී අනාවරණය වී ඇත. ගෑස් හිඟය පිළිබඳ ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ද වෙන වෙනම පවුත්පත් නිවේදන නිකුත් කිරීමට මෙහිදී එකඟ වී ඇත. ගෘහස්ථ ගෑස් හිඟය පවතින මෙම කාලයේ වැඩි මිලට ගෑස් අලෙවි කළ වෙළෙඳසල් 30 කට නඩු පැවරීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙලෙඳසල් සොයා වැටලීම් තවදුරටත් ක්‍රියාත්මකය. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගෑස් මෙට්‍රික් ටොන් 4000 ක් සමාගම සතුව පවතින බවයි. තවත් ගෑස් මෙට්‍රික් ටොන් 4000 ක් කඩිනමින් ආනයනය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත. ලාෆ් ගෑස් සමාගම සඳහන් කරන්නේ ගෑස් රැගෙන නෞකාවක් කොළඹ වරායට ළඟා වූ බවය. උදයජීව ඒකනායක
 

More News..