brand logo

සූර්ය බල සංග්‍රාමයෙන් පාරිභෝගිකයා හාන්සි

20 July 2019

සූර්ය බල සංග්‍රාමය යටතේ ඇරඹුණු සූර්ය කෝෂ තුළින් නිවාස මිලියනයකට විදුලිය උත්පාදනය කිරී‍මේ ව්‍යාපෘතිය සඳහා බැංකු ණය ලබාගෙන සූර්යකෝෂ සවි කළ පාරිභෝගිකයන්ට විදුලි බල මණ්ඩලය මගින් ජාතික පද්ධතියට සම්බන්ධ කරගැනීම නවතා ඇති නිසා බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවී ඇත. සූර්ය බල සංග්‍රාමයෙ පළමු අදියරේ ප්‍රගති සමාලෝචනය අවසන් වනතුරු සූර්ය කෝෂ පද්ධති ජාතික පද්ධතියට සවි නොකරන බව දැනුම් දීම නිසා දහස් ගණනකට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇතැයි විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය. බැංකුණ ණය ලබාගෙන පොලිය පවා මාස ගණනක් ගෙවා ඇතත් විදුලි බල මණ්ඩලය මගින් සම්බන්ධතාව ලබා නොදීම නිසා පාරිභෝගිකයන්ට මූල්‍ය ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවී ඇත. සූර්ය බල සංග්‍රාමය යටතේ නිවාස මිලියනයකට සූර්ය කෝෂ සවිකිරීමේ ව්‍යාපෘතියේ දැනට මෙගාවොට් දෙසීයක් සම්පූර්ණ කර ඇත. මෙහිදී නෙට් මීටරින් ක්‍රමය යටතේ සෝලා මගින් විදුලිය නිෂ්පාදනය කර නිවසේ භාවිතයට ගැනීමත්, නෙට් එකවුන්ටින් යටතේ භාවිතයට ගන්නා ප්‍රමාණයට වඩා උත්පාදනය කර ඉතිරි කොටසට ඒකකයට රුපියල් විසි දෙක බැගින් වසර හතක් යනතුරු විදුලි බල මණ්ඩලයෙන් ආදායමක් ලැබීමත්, නෙට් ප්ලස් ක්‍රමය යටතේ සම්පූර්ණයෙන්ම උත්පාදනය කර ජාතික පද්ධතියට දෙන ඒකකයකට රුපියල් විසි දෙක බැගින් වසර හතකුත් එතැනින් පසුව ඒකකයට රුපියල් පහළොවයි ශත පනහ බැගිනුත් ආදායමක් උපයා ගත හැකිය. පාවෙන විදුලි බලාගාර මගින් විදුලිය ලබාගෙන විදෙස් රටවලට මුදල් ඇදෙන්නට නොදී රට තුළ ජනතාව අතරේ මුදල් සංසරණය වන පරිදි සූර්ය කෝෂ පද්ධති සවි කිරීමට ඉඩ සලසාදීමට රජයේ බලධාරීන් උනන්දු නොවන බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය. මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ ලේකම් බී.එම්.එස්. බටගොඩගෙන් විමසූ විට පැවැසුවේ සමීක්ෂණයක් හේතුවෙන් නැවතී ඇතත් මසකට පවුල් හත් දහසකට දීමට ඉදිරියේදී සැලසුම් කරන බවය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..