brand logo

සූදු කෙළින්න රන් භාණ්ඩ සොරාගත් සිසුවා මාට්ටු

13 January 2021

ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්න තම මාමාගේ නිවෙස වෙත ගිය 15 හැවිරිදි පාසල් සිසුවකු එම නිවෙසේ තිබුණු රුපියල් හාරලක්ෂ තිස්දහසක් පමණ වටිනා රන්භාණ්ඩ සොරා ගෙන ඇති බව කටුගස්තොට පොලිසිය පැවසීය. මාවිල්මඩ ප්‍රදේශයේ පිහිටි සිය මාමාගේ නිවෙසේ කාමරයක අල්මාරියක තිබුණු බව පැවැසෙන රන්මාල 5 ක් හා අත්පලඳනා 2 ක් මෙම සිසුවා විසින් සොරාගෙන තිබේ. තම නිවසේ තිබුණු රන්භාණ්ඩ අස්ථාන ගතවී ඇති බවට නිවෙස් හිමියා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් පිරිසක් විසින් සැක පිට මෙම සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමාට ජංගම දුරකතනයක් මිලට ගැනීම සඳහා අවස්ථා දෙකකදී නිවෙසේ තිබුණු රන්භාණ්ඩ සොරාගත් බවයි. එසේ සොරාගත් රන්භාණ්ඩ ඔහුගේ මිතුරෙකුගේ පියාට ලබා දී තිබේ. එසේ ලබාදුන් රන් භාණ්ඩවලින් කොටසක් මහනුවර නගරයේ පිහිටි රන්භාණ්ඩ අලෙවිසල් දෙකකට විකුණා ඇති අතර තවත් කොටසක් ග්‍රාමීය බැංකුවට උකස්කර ඇත. තම මිතුරාගේ පියා විසින් රන්භාණ්ඩ අලෙවි කර ඔහුට රුපියල් හැත්තෑ දහසක් ලබාදුන් බවත්, එම මුදලින් රුපියල් පනස් දහසකට ජංගම දුරකතනයක් මිලදී ගෙන ඉන් ගූගල් ෂෙරීනා නමැති වෙබ් එක හරහා සුදු ක්‍රීඩාවේ නිරතවූ බවද සැකකරු පවසා ඇත. එම සුදු ක්‍රීඩාවේ නිරත වීම පිණිස විශාල මුදලක් රීලෝඩ් වශයෙන් දැමූ බවත් පොලිස් නිලධාරින්ට සිසුවා විසින් පවසා ඇත. එම රන්භාණ්ඩවලට අමතරව තම මාමාගේ බැංකු කාඩ්පත සොරාගෙන එයින්ද රුපියල් විසිපන්දහසක මුදලක් ලබාගෙන ඇති බවද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. සිසුවා විසින් සොරාගත් බව පැවැසෙන රන්භාණ්ඩ මේ වන විට පොලිසිය විසින් සොයාගෙන තිබේ. සැකකාර සිසුවා පසුගිය 08 වැනිදා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු විසින් වරද පිළිගෙන තිබේ. අධිකරණය විසින් පරිවාස වාර්තාවක් කැඳවන ලෙස නියෝග කිරීමෙන් අනතුරුව සිසුවා ඔහුගේ මවට භාරදී ඇත. රන්භාණ්ඩ අලෙවි කළ බව පැවැසෙන පුද්ගලයාද ඇප මත මුදාහැර තිබේ. විජේරත්න හල්ඔලුව - හාරිස්පත්තුව
 

More News..