brand logo

සුුදු අශ්වයෝ පිරිවරා මඟුල් කෑ කෙසෙල්වත්තේ දිනුක

20 March 2021

දිනුකගේ බූදලයට කෙසෙල්වත්තේ දී යුධ වදීද ?

මාකඳුරේ මධූෂ් අල්ල ගත්තු වෙලාවේදී දිනුක බේරුනේ අනූ නවයෙන්

ලංකාවේ පාතාලය සමග හැම තිස්සේම කියැවෙන විදෙස් නගරයක් වේ නම් ඒ ඩුබායි නගරයයි. ඉකුත් කාලයේ ලංකාවේ පාතාලයේ වැඩියෙන්ම නම කියැවුණ චරිතය වූ මාකඳුරේ මධුෂ් ද දිවි ගෙව්වේ ඩුබායි නගරයේය. උපන් දින සාදයකදී මත්ද්‍රව්‍ය සමග එරටදී පොලිසියට කොටු වූ මධුෂ් ලංකාවට රැගෙන එනු ලැබීය. මධුෂ් පමණක් නොව විදෙස්ගතව සිටින පාතාල නායකයන් අල්ලා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ත​මේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව හෙවත් ඉන්ටපෝල් ඉකුත් කාලයේ මෙහෙයුමක් ඇරඹීය. මේ යටතේ පාතාල හා මත්කුඩු ජාවාරමුන් විසි හයකට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුව නිකුත් කර තිබුණි. ඒ ගෙන්වන්නට පිරිස අතරේ කෙසෙල්වත්තේ දිනුක හෙවත් රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් ද සිටියේය. දිනුක කෙසෙල්වත්තේ දිනුක වූයේ ඔහු පිටකොටුවේ කෙසෙල්වත්ත ගම වූ නිසාය. කෙසෙල්වත්ත පාතාලයට සම්බන්ධ වූයේ ප්‍රේමදාස යුගයේදීය. ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ ගමත් කෙසෙල්වත්තය. එකල ඔහුගේ ආශිර්වාද ලද සොත්ති උපාලිලා ඇතුළු දුසිම් ගණනක් පාතාලයෝ කොළඹ රජ කළෝය. පසුකලෙක කෙසෙල්වත්තෙන් මතු වූ පාතාලයා වූයේ දිනුක ය. දිනුකගේ පියා නීල් රාජපක්ෂය. ප්‍රේමදාස පාලන සමයේ නීල් කොළඹින් කරළියට ආ ප්‍රබල චණ්ඩියකු විය. එවකට සොත්ති උපාලිලා, ඕල්කට්, ප්‍රින්ස් කොලම් ඇතුළු චණ්ඩින් අතරේ කෙසෙල්වත්තේ බලය තිබුණේ නීල්ටය. තෙල්බාලා හා ඔල්කට් සමග නීල් ළඟම සබඳතා පවත්වමින් ගියේය. පිටකොටුවේ පලතුරු තට්ටු හා වෙළෙඳසල්වලින් කප්පම් ලැබුණේ නීල්ටය. ගුණසිංහපුරයට එන බස්වලින් කප්පම් ගත්තේ ද නීල්ය. නීල් සමග කොළඹ චණ්ඩින් ලෙස එවකට සිටියේ ගුණසිංහපුරේ ආරියපාල හා කිත්සිරි රාජපක්ෂය. ඔවුන්ට කොළඹ පලතුරු තට්ටු හිමිවන්නේ දේශපාලන සබඳතා නිසාය. නීල්ව ඝාතනය කර පලතුරු තට්ටුවල බලය ගන්නට ආරියපාල කුඩු ලාල්ට කොන්ත්‍රාත්තුව දුන්නේය. මාලිගාවත්ත කේන්ද්‍ර කර ගෙන හිස ඔසවමින් සිටි ෆාජී, බයියා. මංජල්, අක්රම්, අම්බට්ටා පසාල්, පප්පා යන කණ්ඩායම්වලින් සමන්විත මුස්ලිම් පාතාලයට මෙම කොන්ත්‍රාත්තුව භාර කෙරිණි. දිනක් නීල් පලතුරු තට්ටුවල මුදල් එකතු කර තමා අලුතින් මිලට ගත් වෑන් රථයෙන් ගෝලයා සමග නිවසට යාමට පිටත් වූයේ ආමර්වීදියෙන් බූන්දි ඇතුළු පැණි රස කැවිලි ද රැගෙනය. එවකට ලංකාවටම ටවුන්ඒස් ලොටෝ වෑන් තිබුණේ පහකි. ඉන් එකක හිමිකරුවූ නීල් තම සගයා සමග යද්දී පැහැරගෙන ගොස් මාදම්පිටියේ කනත්ත ළඟ ඝාතනය කර දමා ගොස් තිබුණි. නීල්ගේ ඝාතනයේ පලිය ගන්නට නීල්ගේ බිරිඳ වූ චූටි අම්මා හා සොහොයුරා වූ ‘රජා’ කරළියට එන්නේය. නීල්ව මැරූ ආරියපාලව ගුණසිංහපුරදී ඝාතනයට යොදා ගත්තේ ජාතික පාපන්දු කණ්ඩායමේ සිටි ක්‍රීඩකයකු වූ ෆුට්බෝල් රෝෂන් හා ඩයස්වය. එයින් පසු සිය මව හා මාමා වූ රජාගේ පාරේ ගිය දිනුක කෙසෙල්වත්ත දිනුක නමින් අවුරුදු 24දී පාතාලයට එක් වූයේය. පලතුරු තට්ටුවලින් මෙන්ම බස්වලින්ද කප්පම් ගන්නා අතරේ කුඩු ජාවාරම ද දිනුකගේ අතට ගත්තේය. දිනුක ඒ වන විට මධුෂ්ගේ කල්ලිය, කඩුවෙල සමයං කල්ලිය, ඕල්කට් කල්ලිය සමගද සබඳකම් ඇති කර ගත්තේය. දිනුක වටා වූ කල්ලියට තරිඳු, තරංග, ඉයර්ශාන්, ඉර්ෂාඩ්, ගනේෂ්, නෙවිල්, රයිනා, ලොක්කා කෙසෙල්වත්තම පාලනය කරන්නට මැර බලය පැතිර වූහ. දිනුකගේ බල ප්‍රදේශයේ කුඩු බෙදා හැරීමට කිසිවෙකුටත් අවසර ලැබුණේ නැත. දිනුකට ඉහළින් යන අයට ලැබුණේ මරණය ය. මරණයෙන් බේරීමට නම් ඔවුන්ට ගම අතහැර යාමට සිදුවිය. සිය මවත්, මාමා වූ රජාත් නිසා දිනුක දිනෙන් දිනම පාතාල ලොව කරළියට ආවේ අපරාධ රැල්ලක් මතිනි. දිනුක විවාහ වී සිටියේ අල රංජිගේ දුව වූ භාග්‍යා සමගය. දිනුක හා භාග්‍යාගේ විවාහ මංගල්‍යය කොළඹ කෙසෙල්වත්ත හෙල්ලූ උත්සවයක් විය. පාතාල සහාය මැද වරායෙන් අඩු මිලට ගෙන්වන අල, ලූනු, බජාර් එකට එන්නේ අල රංජි මාර්ගයෙනි. අල රංජිගේ දුව හා විවාහ වූ දිනුක එදා ඇයව කැන්දන් එන්නේ සුදු අශ්වයන් පිරිවරා ගෙනය. දිනුකගේ සගයන් එදා රතිඤ්ඤා වෙනුවට පත්තු කළේ තමන් සතු ටී 56 අවිවල උණ්ඩය. දේශපාලන හයිය හා මුදල් බලයට එවකට නීතිය යටත් වූ නිසා දිනුකගේ මඟුල පාතාල රජෙකු ලෙසම ගන්නට හැකිවිය. මේ අතරේ දිනුක කෙසෙල්වත්තේ කුඩු ජාවාරමට එරෙහිව කරළියට එන කෙසෙල්වත්තේ ව්‍යාපාරිකයකු වූ කිත්සිරි රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරු අරුණජිත් රාජපක්ෂ (මයියා) ඝාතනය කළේය. ඒ සිය පියාගේ ඝාතනය මෙහෙය වූ ආරියපාලගේ පැත්ත ගත් බව කියමිනි. අරුණජිත් රාජපක්ෂ 2010 මැයි 04 දා කෙසෙල්වත්තේදී මහ දවාලේ වෙඩි තබා ඝාතනය කෙරිණි. කෙසෙල්වත්තේ ඇපල් තට්ටු දෙකක පමණ හිමිකරුවකු වූ කිත්සිරි රාජපක්ෂවත් 2011 ජනවාරි 15 දා කෙසෙල්වත්ත මිහිඳු මාවතේදී වෙඩි තබා ඝාතනය කෙරිණි. යුද්ධෙන් පසු සිදුකළ පාතාල මර්දනයට බියෙන් 2012දී රටින් පැනගත් දිනුක එතැන් පටන් ඩුබායි සිට තම කල්ලි මෙහෙයවූහ. දිනුක රට පැන්නත් දිනුකගේ මව චූටි අම්මා හා මාමා වූ රජා දිනුකගේ නම කියමින් මුදල් එක් රැස් කළහ. බැස්ටියන් මාවත හා ගුණසිංහපුර බෝගහ ළඟ පලතුරු ලෑලි දිනකට රුපියල් පන්දහසකට කුලියට දී තිබුණේය. ඊට අමතරව සෑම වෙළෙඳසලකින්ම කප්පම් මුදල් එකතුකර දිනකට යැවිය යුතුය. මහනුවර - කොළඹ බස් ඇතුළු සෑම බස් රථයකින්ම රුපියල් තුන්සීය බැගින් සෑම ගමන් වාරයකදීම දිනුකලාට ගෙවිය යුතු විය. චූටි අම්මාගේ බෑනා වූ සුදූ බස්වලින් දිනකට රුපියල් විසිදහසක් පණ එකතු කරන බව පොලිස් වාර්තා අනුව කියවෙන්නේය. දිනුකගේ යටතේ වැඩුණු ගෝලයන් හා පවුලේ අය අද සුපිරි ජීවිත ගෙවන්නේ කෙසෙල්වත්ත කේන්ද්‍ර කර ගත් කුඩු ජාවාරම හා කප්පම් මුදල් නිසාය. පාපැදියක්වත් නැතිව සිටි නෙවිල් දැන් වෙසල් ජීප් රථයකින් යන්නේය. තරංග පදින්නේ බී.එම්.ඩබ්ලිව්. රථයකි. මැල්වත්තේ කුඩු රැජින ඇතුළු සියලු දෙනා ඉන්නේ සුපිරි ​නිවාසවලය. ජෝ ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ රැසක සුපිරි නිවාස ඉදි කර ඇත්තේය. දිනුක 2012දී රටින් පැන්නත් ගමන් බලපත්‍රයට අනුව දිනුක අවසන් වරට විදේශගතව පැමිණ සිටියේ 2005 අප්‍රේල් 12 දාය. එම ගමන් බලපත්‍රයට අනුව ඔහු යළිත් විදෙස් ගතවූ බවට ​තොරතුරක් නොවීය. එසේ නම් ඔහු 2012 දී යළි රටින් පැන්නේ ව්‍යාජ ගුවන් බලපත්‍ර්‍රයකින් බව පොලිසියේ නිගමනය විය. එබැවින් ඔහුට එරෙහිව රතු වරෙන්තුවක් ගත්තද දෙරටවල් අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම හෙවත් උදර්පන නීතිය යටතේ ප්‍රශ්නයක් උද්ගත වී තිබුණි. ඒ දිනුකගේ නමට රතු වරෙන්තුව නිකුත් කළ ද ඒ නමින් අයෙක් ඩුබායි රටේ නැති වීමය. ඩුබායිහි දිනුක සැඟවී සිටින තැන් හඳුනාගෙන දෙරටේ ජාත්‍යන්තර පොලිස් ශාඛා අතර තොරතුරු හුවමාරු වූයේ පසුගිය සති කිහිපයේදීය. මේ තොරතුරු ඔස්සේ ඩුබායි පොලිසිය දිනුක සැඟවී සිටින තැන් සොයා මෙහෙයුම් ඇරඹීය. දිනුක ව්‍යාජ ගුවන් බලපත්‍රයකින් රැඳී සිටින තැන් හඳුනාගෙන මෙරටට ගෙන එන මෙහෙයුම සඳහා ලිපිලේඛන හුවමාරු වන අතරේ දිනුක සැඟවී සිටි තැනින් පැන ගත්තේ තමන් පසුපස ඩුබායි පොලිසිය පන්නන බව දැන ගෙනය.   ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරමුන් සමග එරට පොලිසිවල දූෂිත නිලධාරීන්ද සිටින බව මීට පෙර සනාථ වූයේ මාකඳුරේ මධුෂ් කොටු කළ ඩුබායි පොලිස් මෙහෙයුමේදීය. එදා මධුෂ්ගේ දියණියගේ උපන් දින සාදය වටලන්නට අබුඩාබි පොලිසියට ඔත්තුදෙන්නේ කුඩු මෙරිල්ය. මධුෂ්ගේ සාදයට පොලිසිය පනිද්දී කෙසෙල්වත්තේ දිනුකද හිටියේ එම හෝටලය පෙනි පෙනීය. දිනුක එදා ගැලවුණා සේම දෙතුන් සතියකට ඉහතදී යළිත් වරක් ඩුබායි පොලිසියෙන් ගැලවුණේය. ඔහු සැඟවී සිටි තැනට පොලිසිය පනිද්දී දිනුක පැන ගත්තේය. එහිදී දිනුකගේ බිරියගේ සොහොයුරා පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ පොලිසිය එන විට දිනුක පැනගත් බවය. මස්සිනා කොටු වූ බව දැනගත් දිනුක බිරිඳ හා දරුවා නිවසේ දමා ආරක්ෂිත නිවස්නයකට පැනගෙන තිබුණි. මාකඳු​රේ මධුෂ් සමීපව ඇසුරු කළ දිනුක විස්කි, කොකේන් හා අයිස්වලට දැඩිව ඇබ්බැහි වූවෙකි. මේ අතරේ ශ්‍රී ලංකාවේ සිටින දිනුකගේ මවට ඩුබායි නගරයෙන් හදිසි පණිවුඩයක් ආවේය. ඒ ඔහු එරටදී හෘදයාබාධයකින් මියගිය බවය. දිනුකගේ අම්මා කෙසෙල්වත්තේ ප්‍රසිද්ධ වී සිටියේ චූටි අම්මා යනුවෙනි. ඇය සිය පුතුගේ සිරුර ලංකාවට ගේන්නට කටයුතු කරන අතරේ කෙසෙල්වත්ත සුදු කොඩිවලින් සැරසුණේය. ඩුබායි සිට ලහි ලහියේ දිනුකගේ සිරුර මෙරටට එවීමට වැඩ කටයුතු කළේ කිරුලපන කුඩු මෙරිල් ඇතුළු ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් බව සඳහන්ය. ඒ සඳහා රුපියල් ලක්ෂ පහළොවක් පමණ වියදම් කර තිබුණි. වසර නවයකට පෙර ඔහු ලංකාවෙන් පැන ගත්තේ නුගේගොඩ සේනානායක පෙදෙසේ පදිංචි ව්‍යාපාරික කසුන් මධුරංග රාජපක්ෂ නමින් එන් 4516174 දරන ව්‍යාජ ගුවන් ගමන් බලපතකින්. එම බලපත්‍රයේ නම් සඳහන් පුද්ගලයකුගේ මළ සිරුරක් ඉකුත් 18 වැනිදා කටුනායක ගුවන්තොටුපොළට එවා තිබුණි. එබැවින් නීතිමය කටයුතුවලදී ප්‍රශ්නයක් උද්ගත වූයේ මේ මියගොස් ඇත්තේ කෙසෙල්වත්තේ දිනුකම ද යනුවෙනි. නමුත් දිනුකගේ ඥාතීන් කියන්නේ සිරුර දිනුකගේ බවය. එය හරියට දැනගත හැකි වනු ඇත්තේ ඩී.එන්.ඒ. පරීක්ෂණයකිනි. දිනුකගේ මරණයත් සමග හිතමිතුරන් මාර්ගයෙන් කියවුණේ දිනුක කොරෝනා ආසාදනය වී මියගිය වගය. එසේ වී නම් මෙතරම් කඩිමුඩියෙන් ඔහුගේ සිරුර මෙරටට රැගෙන ඒමට හැකිවූයේ කෙසේද?. ඒ මෙරට ආරක්ෂක අංශවලට වූ ගැටලුව විය. මේ අතරේ දිනුකගේ කුඩු ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි ගණනක මුදල් බෙදාගන්නට පවුල් අතරේ ගැටුමක් හටගෙන ඇතැයි කියවුණේය. පාතාල කණ්ඩායම් අතර කියුවුණු කතා හා පවුලේ ආරංචි මාර්ග අනුව දිනුකගේ නීතිවිරෝධී ලෙස ඉපැයූ රුපියල් කෝටි එකසිය අසූවක් පමණ වූ මුදල් ඇත්තේ බිරිඳගේ ඥාතීන් හා පවුලේ අය සතුවය. එසේ බලන විට දිනුකගේ දේපළ බෙදා ගැනීමට කෙසෙල්වත්තේ යළි සටනක් ඇති වීමට බැරිකමක් නැත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..