brand logo

සුවිස් තානාපති කාර්යාල නිලධාරිනියට විදෙස් ගමන් තහනම 17තෙක් දීර්ඝ කෙරේ

12 December 2019

ඉකුත්දා පැහැරගැනීමකට භාජනය වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමති කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වාලමින්පනවා තිබෙන තහනම් නියෝගය ලබන 17 වනදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අදාළ කාන්තාව කිසියම් මානසික පීඩාවකින් පෙළෙන්නේ ද? යන්න පිළිබඳව විශේෂඥ මානසික වෛද්‍යවරුන් ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස අද (12) නියෝග කළාය. මෙම පැමිණිල්ල අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් ලබාගත් නියෝගයක් පරිදි පැහැරගැනීමට ලක්වූ බව කියන මෙම කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කළ බව සඳහන් කළේය. එහිදී කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීනිය විසින් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකළ බව සඳහන් කළ ජේෂ්ඨ රජයේ නීතිඥවරයා එහෙත් මෙම කාන්තාවගේ මානසික තත්ත්වය පිළිබඳව විශේෂඥ මානසික වෛද්‍යවරුන් ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් වාර්තාවක් ලබා ගැනීම සුදුසු බවට අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් නිර්දේශ කර ඇති බවද සඳහන් කර සිටියේය. ඒ අනුව අදාළ කාන්තාව විශේෂඥ මානසික වෛද්‍යවරුන් ගෙන් සමන්විත මණ්ඩලයක් හමුවට යොමු කර වාර්තාවක් ලබා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද ජේෂ්ඨ රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ කාන්තාව කිසියම් මානසික පීඩනයකින් පෙළෙන්නේ ද? යන්න පිළිබඳව මානසික විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් හමුවට යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා හට නියෝග කළාය. මෙහිදී පැහැරගෙන යාමට ලක්වූ බව කියන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාව ස්වෙච්ඡාවෙන්ම රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශ ලබා දී විමර්ශනවලට සහය දක්වා ඇති බව සඳහන් කළේය. " ස්වාමීනි මාගේ සේවාදායිකාව ස්වෙච්ඡාවෙන්ම රහස් පොලිසියට ගොස් ප්‍රකාශ ලබා දී විමර්ශනවලට සහාය ලබාදී තිබෙනවා. ඇය මේ වන විට අසනීප තත්ත්වයෙන් පසු වන්නේ. එනිසා ඇයගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය නම් එම ප්‍රකාශ සටහන් කරගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී සිදු කරන්නේ නැතිව තානාපතිවරයාගේ නිල නිවසේ දී සිදු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස මා රහස් පොලිසියෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා - ස්වාමීනි, එම ඉල්ලීමට විරුද්ද වෙනවා. ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය- මෙම ඉල්ලීමට එකඟ වන්න බැහැ. පැමිණිලිකාරිය බරපතළ රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් රෝහලක් වැනි තැනකට ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඒත් මෙහි එවැනි තත්ත්වයක් නැහැ. ස්විස්ටර්ලන්ත තානාපති වරයාගේ නිල නිවස කියන්නේ වෙනත් රටකට අයත් කොටසක්. එහිදී පැමිණිලිකාරිය ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට ගියහොත් ශ්‍රී ලංකාවේ නීතියට අනුව ගැටලු සහගත තත්ත්වයක් මතු වෙන්න පුළුවන්. යනුවෙන් සඳහන් කර සිටි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අගතියට පත් පාර්ශවය විසින් කළ එම ඉල්ලීම ඉවත දැමීමට තීන්දු කළාය. මෙහිදී පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා තවත් ඉල්ලීමක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා-ස්වාමීනි, මෙම විමර්ශනයේ දී හෙළි වූ බව සඳහන් කරමින් විවිධ කරුණු විවිධ පුද්ගලයින් විසින් විකෘති කර මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම අගතියට පත් කාන්තාව වෙනුවෙන් පෙනී සිටින මටත් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාටත් තර්ජනාත්මක ලෙස බැණ වදිමින් විවිධ පිරිස් මාධ්‍ය නිවේදන, ප්‍රකාශ හා කරුණු දැක්වීම් ප්‍රධාන ජනමාධ්‍ය ඔස්සේ සිදු කර තිබෙනවා. අධිකරණය හමුවේ විමර්ශනය වෙමින් පවතින නීති කටයුත්තක් සම්බන්ධයෙන් ඉන් පිටත මේ ආකාරයෙන් අගතිදායක කරුණු ප්‍රකාශයට පත්වීම බරපතළ තත්ත්වයක්. එයින් විමර්ශන කටයුතු වලට බාධාවක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම නීතිඥවරුන්ට සිය වෘත්තිය ස්වාධීනව ඉටුකර ගැනීමට තිබෙන අවස්ථාව ගිලිහී යන්න පුළුවන්. මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශන නිසා අපි මෙම නඩුවෙන් ඉවත් වෙන්න තීරණය කළහොත් පැමිණිලිකාරියට නීතිඥවරයකු සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ඇති වුණොත් ලංකාව කියන්නේ වින්දිතයෙකුට නීතිඥයෙකු සොයාගන්න බැරි රටක් වශයෙන් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වෙන්න පුළුවන්. ඒක මේ රටට සිද්ධ වෙන විශාල හානියක්." යනුවෙන් ප්‍රකාශ කර සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා නීතිඥවරුන්ට හා විමර්ශනවලට අගතිදායක ආකාරයෙන් තර්ජනාත්මකව සිදුකල ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස රහස් පොලිසිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ විමර්ශනයකට භාජනය වෙමින් පවතින කාරණයක් පිළිබඳව ඉන් පිටත විවිධ අදහස් පළ කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බව සඳහන් කර සිටියේය. "ස්වාමීනි, අධිකරණයක් හමුවේ විනිශ්චයට භාජනය වී තිබෙන නඩු කටයුත්තක් පිළිබඳව පාර්ලිමේන්තුවේ පවා කතා කරන්නේ නැහැ. ඒක තමයි පිළිගත් සම්ප්‍රදාය. එහෙත් ඇතැම් පුද්ගලයින් ඒවගේම නීතිඥයින් වන ඇතැම් පුද්ගලයින් අධිකරණ වලින් පිටත සිදුකරනු ලබන විවිධ ප්‍රකාශ නිසා විමර්ශන කටයුතුවලට බාධාවක් සිදු වන බව මාත් පිළිගන්නවා. නීතිඥවරුන්ට ස්වාධීනව තමන්ගේ රැකියාව කිරීමට ඉඩ තිබිය යුතුයි. මෙවැනි ප්‍රකාශ නිසා අධිකරණයටද අපහාසයක් සිදු වෙනවා." යනුවෙන් සඳහන් කර සිටී ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාට දන්වා සිටියේ විමර්ශනයට අගතියක් සිදුවන ආකාරයෙන් ඉදිරිපත් වී ඇති තොරතුරු පිළිබඳව රහස් පොලිසිය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි. අගතියට පත් පාර්ශවය විසින් ඉදිරිපත් කරන මෙවැනි තොරතුරු පිළිබඳව විමර්ශනයක් පවත්වා ඉන් කිසියම් වරදක් අනාවරණය වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා ලෙස ද මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් රහස් පොලිසිය වෙත වැඩිදුරටත් නියෝග කරන ලදී. මෙහිදී මහේස්ත්‍රාත්වරිය අගතියට පත් පාර්ශවය නීතිඥවරු අමතමින් යම් නීතිඥවරයකු මේ ආකාරයෙන් විමර්ශනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කර තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කිරීමට අගතියට පත් පාර්ශවයට හැකියාව තිබෙන බවද විවෘත අධිකරණයේ වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
 

More News..