brand logo

සුවපති වෛද්‍යවරු ඉන්දියාවෙන් ගෙන්වයි

24 July 2019

මෙරට ක්‍රීඩා වෛද්‍ය විශේෂඥ සේවාව නඟා සිටුවීමේ හැකියාව තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රමිතියෙන් බාල විදේශ ‍වෛද්‍යවරුන් ගෙන්වීමට සැලසුම් කොට ඇති බව රජයේ වෛද්‍ය සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ අද (23) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. ඉන්දියාවෙන් වෛද්‍යවරුන් ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ දින පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී, විශේෂයෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡාකොට ඇති බව අලුත්ගේ මහතා අවධාරණය කළේය. ක්‍රීඩා වෛද්‍යවරුන් සඳහා ඇති ඉහළ ඉල්ලුම නිසාම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ දැඩි බලපෑම මත 2007 වසරේ වෛද්‍යවරුන්ට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව සලසා දී තිබේ. එතැන් සිට මේ දක්වා ගෙවී ගිය වසර 12 ක කාලය තුළදී කණ්ඩායම් 7ක් බඳවා ගනිමින් ඩිප්ලෝමාධාරී වෛද්‍යවරුන් 60 ක් පමණක් බිහිකර ඇත. අනතුරුව 2017 වසරේදී විශේෂඥ වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා පාඨමාලා ආරම්භයද සිදුව ඇත්තේ වෛද්‍ය සංගමයේ බලපෑම මතය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙන්ම පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට වෛද්‍ය සංගමය එහිදී චෝදනා කළේය. එමෙන්ම මෙම පශ්චාත් උපාධි පාඨමාලාව සඳහා වෛද්‍යවරුන් බඳවා ගැනීමේදී වසරකට වෛද්‍යවරුන් 5 ක් හෝ 6 කට පමණක් අවස්ථාව සැලසීම මවිතයට කරුණක් බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු 41 ක් ඇති බව හඳුනාගෙන ඇත. මෙම පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරී වෛද්‍යවරුන්ට පශ්චාත් උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා දෙමින් ඉතා පහසුවෙන් අදාළ පුරප්පාඩු පිරවීමේ හැකියාව ඇති නමුත් වෛද්‍යවරුන්ට මෙම අවස්ථාව ලබාදීම අමාත්‍යංශය විසින් කල්දමමින් ඇති බවත් 2018 වසරේ නොවැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සුදුස්සන් තේරීමේ විභාගය මෙම වසරේ අගෝස්තු මස දක්වා කල්දැමීම එය සපථ කරන්නක් බවත් වෛද්‍ය සංගමය එහිදී කීය. එසේම ස්ථූලතාව , බෝනොවන රෝග ඉහළ යාම මෙන්ම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දක්නට ඇති පසුබෑම ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ පවතින නොදියුණු තත්ත්වය හේතුවෙන් මතුවූ ගැටලු බව වෛද්‍ය අලුත්ගේ මහතා සඳහන් කළේය. විශේෂයෙන්ම පාසල්වල නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සව සඳහා සිසුන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව සිදුකරන පරීක්ෂණවලදී ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ හිඟතාවය හේතුවෙන් සිසුන්ට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බවද හෙතෙම කීය. රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම හිදැස් පිරවීම වෙනුවට කවුරුත් දන්නා පරිදි ඉන්දියාවේ ප්‍රමිතියක් නැති ආයතනවලින් සහතික ලබා ගත් වෛද්‍යවරුන්ට මෙරට රැකියා අවස්ථා ලබාදීමෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේද ප්‍රමිතිය හෑල්ලුවට ලක්කරන බව අලුත්ගේ මහතා සඳහන් කළේය. මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය පද්ධතිය , වෛද්‍යවරු හෝ කාර්ය මණ්ඩලය පිළිබඳව විශ්වාසය තබා නැති බවත් ජාත්‍යන්තර වශයෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ ක්‍රියාවක නිරත වන බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය රවීන් සොසිසා මහතා පැවසීය. මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක්වූ සහකාර ලේකම්වරයා, "රාජිත සේනාරත්න ඇමතිතුමා තමන්ගේ අමාත්‍යංශයේ ක්‍රියාකාරීත්ව පිළිබඳව විශ්වාසයක් නෑ. එහෙම නම් එතුමා කැස්සට බෙහෙත් ගන්නත් සිංගප්පූරුයට යන්නේ නෑ. ජාත්‍යන්තර වශයෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය බිඳ දැමීමේ මෙහෙයුමේ දේශීය නියෝජිතයා වෙන්නේ ඇමතිවරයා. ඉන්දීය වෛද්‍යවරුන්ගේ තත්ත්වයම තමයි මේ ඇමතිවරයාට තියෙන්නෙත්. ඒ වගේම මේ රටේ ලක්ෂ 40 ක් වූ පාසල් දරුවන් ඉන්නවා. ක්‍රීඩා අමාත්‍යවරයාට මේ අය ක්‍රීඩා අංශයෙන් ඉහළට යැවීමේ අරමුණක් තිබුණට සෞඛ්‍ය ඇමති කරන්නේ ඒවාට අකුල් හෙළලා මඩිහ තරකරගන්න එක. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයාගේත් අවදානය මේ කෙරෙහි යොමුවීම වැදගත්" යැයි පැවසීය. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දූෂිත මාෆියා පිළිබඳව මේ වනවිට අමාත්‍යංශ ලේකම්වරිය විසින් හෙළිකරමින් සිටින බවත් ඇගේ එම ක්‍රියාව වෛද්‍ය සංගමයේ පැසසුමට හේතුවන බවත් වෛද්‍ය රවීන් සොයිසා මහතා පැවසීය. මේ අතර මේ වන විට විදෙස් කසල කන්ටේනර් ලංකාවට ගෙන්වීමත් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා මුණිවත රැකීමත් පිළිබඳව මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය සොයිසා මහතා මෙසේ කීය. " පාරිසරික අමාත්‍යවරයා විදියට ජනාධිපතිවරයාට මේ ගැන වගකීමක් තියෙනවා. සෞඛ්‍යමය තර්ජනයක් පවත්න බැවින් සෞඛ්‍ය අමාත්‍යවරයාටත් මේ ගැන වගකීමක් තියෙනවා. නමුත් සෞඛය අමාත්‍යවරයා කසල ගෙන්වීම ගැන කතා කරනවා නම් ඉන්දියාවේ ප්‍රමිතියක් නැති වෛද්‍යවරු මෙරටට ගෙන්වන්න කටයුතු කරන්නේ නෑ. ඇමතිතුමාගේ මුණිවත් පිළිබඳව නම් කියන්න තියෙන්නේ කුණු ගැන කුණු කතා කරන්නෙ නෑ කියලා" යැයි පැවසීය. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා සම්බන්ධව සති දෙකක් ඇතුළත කඩිනම් පියවරක් නොගන්නේ නම් ඉදිරියේදී නම් ගම් ඇතුව සයල්ල හෙළි කරන බවත් නීතිමය පියවර ගන්නා බවත් වෛද්‍ය සංගමය වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ශිරන්තනි මානවඩු
 

More News..